Thursday, October 23, 2014

SkyDrive - නොමිලේ අන්තර්ජාලය තුල 25GB Online Storage සේවාව


SkyDrive යනු Microsoft සමාගම විසින් පවත්වාගෙන යන Online Storage එකකි. මෙය සෑම කෙනෙකුටම නොමිලේ ලබාගත හැකි පහසුකමකි. මෙම සේවාව හරහා අප පරිගණකයේ තිබෙන දත්ත මෙහි තැම්පත් කර තැබීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබේ. ඔබගේ ගිණුමට ඇතුලත් කරන ලද දත්ත වෙනත් ඕනෑම පරිගණකයකින් අන්තර්ජාලව වෙත පිවිස මෙහි ඇති තොරතුරු ඔබට සැනෙකින් ලබාගත හැකියි. මෙය නිර්මාණය කර තිබෙන්නේ Cloud Computing ආකාරයටය. මෙහිදී අපට 25GB ඉඩ ප්‍රමාණයන් දත්ත ගබඩා කිරීම සදහා හිමි වන අතර, මෙයට ඔබ සතුව තිබෙන 50MB ට වඩා අඩු ඕනෑම ගොනුවක් තැම්පත් කර තැබිය හැකියි. ඔබ විසින් මෙයට දත්ත ගොණු මගින් ගීත, ජායාරූප, විඩියෝ, කුඩා මෘදුකාංග සේම ඔබට අවශ්‍ය දත්ත ගොනු තැම්පත් කර ආරක්ෂිතව තැම්පත් කර තැබිය හැකියි. මෙය බොහෝ කලත් සේ ඔබට ලබාදෙන සේවාවකි. පසුගියදා මෙහි නවතම සංස්කරණය නිකුත් කරනු ලැබුවා ඒ අනුව ඔබට දැන් වඩාත් පහසුවෙන් File හැසිරවීම, මුහුණු පොත තුලට Share කිරීමට හෝ වෙනත් තැනකට හුවමාරු කිරීමේ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. SkyDrive හි තිබෙන පිංතූර ඇල්බම Facebook වැනි සමාජජාල අඩවි තුලටද Share කර, ඔබ මිතුරන් අතරේ ඔබේ අත්දැකීම් බෙදාගන්නට පුළුවන. මෙම සේවාවන් සමගම iOS සහ Windows Phone 7 සදහා SkyDrive Apps නිකුත් කර තිබීම නිසා ඔබගේ ජංගම දුරකථනය හරහා උනත් මෙම ගිණුම හැසිරවීම සිදු කල හැකියි.


මෙම සේවාව ඔබ ලබාගැනීමට නම් ඔබ විසින් Hotmail ලිපිනයක් තිබේ නම් ඉතාමත් පහසුවෙන් SkyDrive සේවාම ලබාගත හැකියි. එසේති නැතිනම් අළුතෙන් Windows Live ID එකක් තනා ගැනීම ඉතා පහසු ක්‍රියාවකි. පසුව https://skydrive.live.com සබැඳිය ඔස්සේ මෙයට පිවිසිය හැකියි. එහිදී ඔබේ Windows Live ලිපියන සහ රහස්‍ය අංකය ලබාදී ඔබගේ ගිණුමට පිවිසෙන්න. 



ඔබ Google Chrome හෝ Mozilla Firefox Web Browser හි නවතම සංස්කරණයන් භාවිත කරනවානම් මෙයට ඔබගේ පරිගණකයේ තිබෙන File එකක් Drag කර මෙය තුලට Drop කිරීමෙන් එම File එක Online  Storage එකට Upload කිරීමට පුළුවන. එසේත් නැතිනම් ඔබට මෙහි තිබෙන Upload Button එක Click කර, සාමාන්‍ය පරිදි පරිගණකයේ File එක තිබෙන Path එක තෝරා දීමෙන් අනතුරුව Upload කිරීමටද පුළුවන. එසේත් නැතිනම් මෙහිදී අපට ලබාදෙන SkyDrive මෘදකාංගය හරහා උවද පරිගණකයේ සිටම මෙම ගිණුම ප්‍රෙයෝජනයට ගත හැකියි. මෙයට ඔබ පරිගණකයේ තිබෙන පිංතූරයක් Upload කරන විටදී එය ස්වංක්‍රීයව පික්සල 2048 ප්‍රමාණයට Convert කරලීම සිදුවන අතර, මෙහි සැකසුම්ද ඔබට අවශ්‍ය පරිස සකස් කරගැනීම් පහසුකම් සලසාදී තිබේ.


මෙයට අප පරිගණකයේ තිබෙන ලිපි ගොනු, ජායාරූප Upload කරලීම පමනක් නොව, මෙහිදීම Word, Excel, Power Point, One Note වැනි Document සැකසා ගැනීමටද පුළුවන. ඒ සදහා මෙහි ඉහලින් තිබෙන Create බට්න් එක ක්ලික් කර අවශ්‍ය Document වර්ගය තොරගෙන එය සකස්කරගැනීමට පුළුවන. ඔබ විසින් සකස් කරගන්නා Document සදහා Folder සකස් කරමින් පිලිවලට ගබඩා කරලීමටද පුළුවන.

ඔබට SkyDrive මගින් විවිද වෙබ් අඩවි තුලට විහිදී යන Sharing පහසුකමක් හිමිකරදී තිබෙනවා. මෙහිදී ඔබට අවශ්‍ය File එක් Folder එකකට දමා, එම Folder එක Share කිරීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී තවත් පුද්ගලයෙකුට මෙම File බලාගැනීමට හෝ Edit කර නැවත Save කිරීමට අවස්ථාව ලබාදේ. මෙම පහුසුකම කාර්යාල වල සේවය කරන අයට සහ අධ්‍යාපන කටයුතු සදහා සිසුන්ට ප්‍රයෝජනවත් පහසුකමකි. මෙහිදී ඔබ විසින් එක එක් Folder එක සම්පූර්ණයෙන් Share කරලීම සේම, අවශ්‍ය නම් ඒවායෙහි ඇති තනි තනි File තොරාගෙන Save කරලීමටද පුළුවන.

SkyDrive සදහා අපිට ලබාදෙන සේවාවක් අතර Social Network Sharing පහසුකම බොහෙවින්ම උපකාරී වේ. මෙහිදී ඔබ සතුව තිබෙන පිංතූරයක්, SkyDrive තුළට Upload කිරීමෙන් අනතුරුව එය ඔබගේ Social Network තුලට Share කරලීමේ පහසුකම හිමිවේ. එහිදී Share කල පිංතූරයට Comment කිරීමේ හැකියාව සේම, එම පිංතූර වල Privacy Setting ඔබට අවශ්‍ය ආකාරයට සකස් කරලීමේ පහසුකමද හිමිකර දී තිබේ.

මෙහි ඔබ විසින් Upload කර, Folder සකස් කර පිළිවෙකද සාදාගන්නා ලද ගොණු තුල Right Click කිරීමෙන් එයට අදාලා Action මෙනු එකක් දැක ගැනීමට පුළුවන. මෙහිදී එය Share කිරීමට, Download කිරීමට, Move කිරීමට, Delete කිරීමට, Folder එක Rename කරලීමට හෝ Print කර ගැනීමට ලබාදීම වැනි පහසුකම් ගනනාවක් ක්‍රියාත්මක කරවා ගත හැකියි. ඒ වගේම මෙහි තිබෙන Embed විධානය භාවිත කර, ඔයගේ වෙබ් පිටුවකට හෝ බ්ලොග් පිටුවකට මෙය Link කරගැනීමේ හැකියාව තිබේ.

මෙහිදී අපට Microsoft සමාගම විසින් මෙම SkyDrive සේවාන ලබාදෙනවා සේම, මෙය අපගේ පරිගණකයට සෘජුවම සම්බන්ධ කරලීමේ පහසුකම් ලෙසට SkyDrive Apps Windows Operating System තුලට ලබාදී තිබෙනවා. එහිදී ඔබට වඩාත් පහසුවෙන් මෙම SkyDrive ගිණුම හැසිරවීමට පුළුවන ඔබගේ පරිගණයේ තිබෙන Hard Drive එකක් ආකාරයටම. මුන්ම ඔබ මේ සදහා SkyDrive Apps එක Download කර Install කරගත යුතු වනවා. ඒ සදහා මෙතනින් පිවිසෙන්න. එහි ඇති උපදෙස් පිළිපැද මෙය Download කර Install කරගන්න.


මෙය ඔබේ පරිගණකයට Install කරගැනීමෙන් අනතුරුව ඔබගේ තිබෙන Windows Live ගිණුමට Log වන්න, මෙම Apps එක හරහා. එසේති නැතිනම් අලුතෙන් Live Account එකක් සකස් කරගැනීමටද පුළුවන.


ඉන්පසුව ඔබට මේ ආකරයට ඔබගේ SkyDrive ගිණුම පරිගණකයේ හිද පාලණය කිරීමට පුළුවන. මෙය වඩාත් පහසුයි. Browser එක හරහා Account එක වෙල Log වීමට අවශ්‍ය නැහැ. මෙහිම සිට සියළු කටයුතු කර ගත හැකිය.


මේ ආකාරයට, ඔබටත් අන්තර්ජාලය තුල 25GB Online Storage එකක් නොමිලේ ලබාගැනීමට පුළුවන. ඔබගේ ලිපි ලේකන තැම්පත් කර තැබීමට මෙය වඩාත් උචිතයි. ඔබට මේ ලිපි වැදගත් නම් අපේ බ්ලොග් එකට සහයෝගයක් එකතු කරන්න. තවත් අලුත් ලිපියකින් හමුවෙමි. එතෙක් ඔබට සුභ දවසක් !

USB Flash Drive එකක් උනත් මේ විදිහට Partition කරගන්න පුළුවන් ද ?




" Windows/Linux" පෙන් එකකින් Install කරගන්න පුලුවන්ද ? " , " මගේ පෙන් එක 8GB එත් පෙන්නන්නේ 4GB !", "Pen එක Connect කලාට RAW Format එකෙන් පෙන්නන්නේ."......අද අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් අයට තියන ප්‍රශ්න ටිකක්.

       එත් මේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් ගොඩක් තිබුනත් කරදර නැතුව, 3rd-party Software එකක් නැතුව තමන්ටම කරගන්න පුළුවන් ක්‍රමයක් තියනව. මෙ post එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි Pen එකේ අවුල් තියන අයට.ඒ වගේම කියන්න කැමති ගොඩක් Pen Drive කොටස් වලට කඩන්න බැහැ. තනි Hard එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

මුලින්ම බලමු මොකක්ද මේ Partition කරනවා කියන්නේ කියල. Partition කරනවා කියන්නේ Hard Drive එකක් පරිගණකය ඇතුලෙම කොටස් කිහිපයකට කඩනවා කියන එක. එකියන්නේ තනි hard එකක් විදිහට සැලකුවත් එක කොටස් කිහිපයකින් යුක්තයි. ඕනෑම කොටසක් ඕනෑම File System එකකින් Format කරගන්න පුළුවන්. හරියට තට්ටු ගෙයක් වගේ , එකම ගේ තට්ටු කිහිපයකට වෙන් කරලා .

සාමාන්‍යයෙන් Partition යන වදන Hard Drive එකටම පොදු වුනත් අපිට USB Flash Drive එකක් උනත් මේ විදිහට Partition කරගන්න පුළුවන්.මේකෙන් වෙන්නේ අපි Pen එක PC එකට Connect කලාම එක Pen එකක් විදිහට ගන්නේ නැතුව Partition එකක් විදිහට ගන්න එක.

මේක කරන්න තියන හොඳම Tool එක තමා අපේ Windows වල තියන CMD නොහොත් command prompt tool එක. මේක හරිම ලේසි ක්‍රමයක් නමුත් බහුතරයක් නොදන්නා ක්‍රමයක්. මුලින්ම CMD එක Right-Click කරලා Run as Administrator click කරන්න. මොකද අපි CMD එක ඇතුලේ තවත් Tool එකක් use කරන්න තියනව. මේ tool එක භාවිතා කරන්න අපිට Administrator Rights ඕනේ වෙනවා.

පියවර 01 :

මුලින්ම කරන්න තියෙන්නේ Open කරගත්ත CMD එකේ diskpart කියල type කරල Enter කරන්න. එතකොට disk part tool එක Open වෙයි. ( Disk Part කියන්නේ Disk Partition කියන තේරුම)


පියවර 02 :

ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි අපිට ඕන Drive එක PC එකට Connect වෙලාද කියල බලන්න ඕනේ. එකට list disk type කරලා Enter කරන්න.


පියවර 03 :

දැන් අපිට කරන්න තියෙන්නේ මේ list වෙලා තියන Devices වලින් අපිට ඕන Device එක select කරගන්න එක. එකට කරන්න තියෙන්නේ select disk 2 කියල type කරලා Enter කරන්න. මගේ Pen එක තියෙන්නේ Disk 2 ඒ නිසා මම එක select කරනවා.


පියවර 04 :

දැන් කරන්න තියෙන්නේ මේ Select කරගත්ත Disk එක හිස් කරගන්න එක. නැත්තම් එකේ එක එක ඒවා තියෙද්දී අපිට මේක Partition එකක් විදිහට භාවිත කරන්න බැරුව යනවා. එකට අපි clean කියන Command එක භාවිතා කරනවා.CMD එකේ clean කියල ගහල Enter කරන්න.


clean කියන Command එක කොටස් 2කකින් සමන්විත වෙනවා . එකක් තමා මේ clean කියන්නේ. අනිත් එක clean all . මමනම් කියන්නේ හැම වෙලේම Clean all කියන Command එක භාවිතා කරන්න කියල. මොකද මෙතන වෙන්නේ Format කිරීමක්. Clean කරන කොට ඉක්මනට Format වෙනවා. එත් සමහර දත්ත කොටස් තැන් තැන් වල ඉතුරු වෙනවා. Clean all වලදී සම්පුර්ණයෙන්ම Full Format එකක් වෙනවා. එතැනදී කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැ. හැබැයි Clean all කියන Command එක Complete වෙන්න ටිකක් වෙලා යනවා. මගේ Pen එකට විනාඩි 45ක් විතර ගියා.

පියවර 05 :

දැන් තමයි අපි Pen එකක් Partition එකක් විදිහට සකස් කරන්න යන්නේ. එකටcreate partition primary කියල ගහල Enter කරන්න.



මේකෙන් වෙන්නේ අපි Format කරගත්ත pen එක Partition එකක් විදිහට සකස් වෙන එක.RAW format එකකින්, එකියන්නේ කිසිම File System එකකට අදාළ නැති නිකන් ම නිකන් කොටසක්.

 පියවර 06 :

දැන් අපිට බලන්න පුළුවන් Partition එකක් හැදිලද කියල. සාමාන්‍යයෙන් මේ පියවර අත්‍යවශ්‍ය නැ. එත් මේක කරලා බලන එක නුවනට හුරුයි. මේකත් බලාගන්න කරන්න තියෙන්නේ list partition කියලා type කරලා Enter කරන්න.


 list volume කියල උනත් අපිට දෙන්න පුළුවන්.එක අවශ්‍යම නැ. එකෙන් කරන්නේ අපේ තියන ඔක්කොම Volume ( Drive ) වලින් අපේ Drive එක මොකක්ද කියල පෙන්නන එක.

 පියවර 07 :

දැන් අපි හදාගත්ත Partition එක Select කරගන්න ඕනේ. එකට select partition 1 කියල type කරලා Enter කරන්න.



පියවර 08 :

දැන් අපි Partition එක හදාගත්තා. එත් එක Active නැහැ. නිකන් ඔහේ තියෙනනම් වාලේ RAW විදිහට තියෙන්නේ. කිසිම දෙයක් කරන්න බැ. මළකඳක් වගේ. ඒ නිසා මේක Activate කරගන්න ඕනේ. එකටactive කියල type කරලා Enter කරන්න.



පියවර 08 :

දැන් හරි අවසානෙට ඇවිල්ල තියෙන්නේ. අවසානේ කියන්නේ අවසානෙටම ඇවිල්ල ඉන්නේ. දැන් කරන්න තියෙන්නේ මේ Pen එක Format කරගන්න. මේක දැන් Format කරන්න ප්‍රධානතම හේතුව මේකට අපි File System එකක් දෙන්න ඕනේ. දැන් මේක තියෙන්නේ RAW Format එකක. එකට ක්‍රම කිහිපයක් තියනව.එකක් තමා CMD එක Close කරලා My Computer ගිහින් Pen Drive එක උඩ Right click කරලා Format කියන එක  Click කරලා එතනින් Format කරන එක. මෙතැනදී සැලකිල්ලට ගන්න ඕනේ Format කරන කොට Quick Format කියන එකේ tick එක අයින් කරන්න. මේක Full Format කරන්න ඕනේ. නැත්තම් ඉස්සල්ල කිව්වා වගේ දත්ත කොටස් ඉතිරි වෙනවා. පස්සේ ඒවා Corrupt වෙනවා.ඊට පස්සේ Pen අපායේ යනවා.

මොකක්ද මේ OpenDNS ?

ඇත්තටම මොකක්ද මේ OpenDNS කියන්නේ ? මොකක්ද මේකෙන් වෙන්නේ ? මේක මොකටද තියෙන්නේ ?

ඇත්තටම OpenDNS කියන්නේ අන්තර්ජාල සේවාවක්. එක තමයි දෙන්න පුළුවන් සරලම උත්තරේ.
මේ සේවාව නොමිලේ වගේම මුදල් ගෙවා උනත් ගන්න පුළුවන්. ගොඩක් තැන් වල මේක කරන විදිහ තිබුනත් ඇත්තටම මේ මොකක්ද ? මේකෙන් වෙන්නේ මොකක්ද කියල ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.

OpenDNS එහෙමත් නැත්තම් Open Domain Name System කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන කොට අපිට ආරක්ෂා වෙන්න පුළුවන් හොඳ මාර්ගයක්. ඒවගේම අපගේ අන්තර්ජාල වේගය යම් ප්‍රමාණයක් වැඩි කරගන්න ක්‍රමයක්. බොහෝ පිරිස මේ OpenDNS භාවිතා කරන්නේ තමන්ගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න හිතාගෙන. එහත් මෙහි ඊටත් වඩා ගැඹුරු ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වෙනවා.

           OpenDNS භාවිතා කරන්නෙකුට සේවා විශාල ප්‍රමාණයක් සැලසෙනවා. මේ සේවා සපයන්නේ Umbrella නම් සමාගම.

OpenDNS භාවිතයෙන් අන්තර්ජාලයේ සැරිසරන Malware, Botnets, Adware, Phishing වැනි hacking methods වලින් බේරීමේ හැකියාව, Parental Control හැකියාව පවා තියනව. මේ සේවා Free දෙන නිසා සමහර වෙලාවට Adds පෙන්නනවා ඒ අපි Google search කරන කොට එකේ Search result එකක් විදිහට.

මේ සේවාව ක්‍රියාත්මක කරන්න හරි ලේසි. නමුත් ගොඩ දෙනෙක් නොදන්නා දෙයක් තියනව. ඒ මේ සේවාව අප පරිගණකයේ ක්‍රියාත්මක කලාට පමණක් එය Active වෙන්නේ නැ. අප අපේ දැනට භාවිතා වන IP එක ඔවුන්ගේ Site එකේ Register කල යුතුයි. එවිටයි මේ සේවාව සත්‍ය ලෙසම ක්‍රියාත්මක වෙන්නේ.

මේ සේවාව පරිගණකයේ ක්‍රියාත්මක කරන එක හරි පහසුයි.

මුලින්ම කරන්න තියෙන්නේ Control Panel එකට යන එක. එකේ Network and Sharing Center එකට යන්න.



එතනින් change adapter settings එක උඩ click කරන්න.



ඊට පස්සේ තමන් ගේ Network Adaptor එක මත right click කරලා Properties Click කරන්න.


දැන් එතනින් Internet Protocol Version 4 (TCP/IPv4) එක මත Double click කරන්න.



දැන් එතනින් කරන්න තියෙන්නේ එතන use the following DNS Addresses කියන තැන tick කරලා එතනට මෙන්න මේ IP Address 2ක දෙන්න.

Preferred DNS server : 208.67.222.222
Alternative DNS server : 208.67.220.220



දැන් හරි. ඔන්න දැන් පරිගණකයේ වැඩ කටයුතු ඉවරයි. එත් තව කරන්න ලොකු වැඩක් තියනව. බොහෝ දෙනා මෙතනින් නවත්තල යනවා. නමුත් මේ සේවාව Active නැහැ. මේ සේවාව active කරගන්න OpenDNS Site එකේ Account එකක් හදාගන්න ඕනේ.

මේ ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න : මෙතන ඔබන්න ( බැරිනම් Click කරන්න )

හරි දැන් Account එකත් හදා ගත්තනම් දැන් කරන්න තියෙන්නේ පොඩි Tool එකක් තියනව. මේ Tool එකත් හදල තියෙන්නේ මේ Umbrella සමාගමෙන් මයි. මේක හදල තියෙන්නේ User ට පහසු වෙන්න. හේතුව අපි හැම වෙලේම අන්තර්ජාලයට සම්බන්ධ වෙන කොට අපේ IP එක වෙනස් වෙනවා. මේ වෙනස් වෙන පාරට පාරට මේ site එකේ IP එක update කරන්න ඕනේ. නැත්තම් OpenDNS සේවාව ක්‍රියාත්මක වෙන්නේ නැ.

ඒ tool එක මෙතනින් බාගන්න : ඔව් ඔව් මෙතන තමා. ඔබන්න.

හරි දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ පරිගණකය Restart කරන්න. Restart වෙලා ඕන උනාම අපි දාපු IP address දෙක add වෙලාද කියල බලන්න ඕනේ. එක බලන්න හරි ලේසි කරන්න තියෙන්නේ CMD ( Command Prompt ) එකට ගිහින් එකේ ipconfig /all කියල type කරලා Enter කරන්න. ගොඩක් දේවල් එයි ගණන් ගන්න එපා. එතන හෙමිට Scroll කරලා යටට යන්නේ එතන ඇති DNS Servers කියල එකක් එකේ කෙලින්ම බලන්න එතන අපි කලින් දාපු IP දෙක Update වෙලානම් වැඩේ හරි.



ඒවගේම අර අපි බාපු Tool එක open කරලා බලන්න එකේ Using OpenDns කියන එක YES කියල තියනවද කියල.



මේ ඔක්කොම හරිනම් ඉතින් වැඩේ ගොඩම තමා. දැන් OpenDNS භාවිතා කරලා වේගවත් මෙන්ම ආරක්ෂාකාරී අන්තර්ජාප පහසුකම් ලබන එකයි තියෙන්නේ. මං ගියා.. සුබ දවසක් !!

Broadband තාක්ෂණයන් හඳුනාගනිමු





Broadband යන වචයන ඇසූ පමණින් ඔබේ සිහියට නැගෙනුයේ ඔබගේ අන්තර්ජාල සබඳතාවයයි. නමුත් අන්තර්ජාල සබඳතාවයක් යනු broadband තාක්ෂණයේ එක් ප්‍රායෝගික භාවිතයක් පමණි. අද වනවිට ලොව පුරා විශාල වශයෙන් පරිගනක සහ විවිව්ධ ඉලෙක්ට්‍රොනික උපාංග ව්‍යාප්ත වී ඇති අතර එම උපකරණ අතර අන්තර් සබඳතාවයක් පවත්වාගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. Broadband යනු එවන් තාක්ෂණික ක්‍රමවේදයකි.

Broadband තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය,ප්‍රායෝගික භාවිත සහ විවිධ broadband internet සබඳතා පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් විමසා බලමු.



Broadband යනු කුමක්ද?


Broadband යන වචනයෙන් අර්ථවත් වන්නේ “පුළුල් කළාපයක්” යන්නයි. එනම් මෙම තාක්ෂණය මගින් එක් දත්ත සන්නිවේදන මාධ්‍‍යක් තුල පුළුල් කළාපයක් (band) ඔස්සේ දත්ත සන්නිවේදනය කරනු ලබයි. විවිධ සංඛ්යාත පරාසයන්ගෙන් යුත් විද්‍යුත් තරංග එකිනෙක මිශ්‍ර නොවී එකම සන්නිවේදන මාධ්‍යයක් ඔස්සේ සන්නිවේදනය කිරීම broadband තාක්ෂණය ලෙස සරළව හඳුන්වාදිය හැක. මෙහිදී විවිධ සංඛ්යාත පරාසයන්ගෙන් යුත් දත්ත පථ (data channels) කිහිපයක් භාවිතා කරන අතර එක් පථයක් ඔස්සේ ගමන් කරන තරංගයක් එම මාධ්‍යයේම වෙනත් පථයක් ඔස්සේ ගමන් කරන තරංගයක් සමග මිශ්‍ර නොවේ. සම-අක්ෂක රැහැන් (coaxial cable), ඇඹරුනූ කම්බි යුගල (twisted pair cable), ප්‍රකාශ තන්තු (fiber optic cables) මෙන්ම රැහැන් රහිත විද්‍යුත් චුම්භක තරංග මාද්‍යයක් ඔස්සේ වුවද මෙම ක්‍රමයට දත්ත සන්නිවේදනය කලහැක.

ඔබගේ නිවසට දුරකතන සබඳතාවය, රූපවාහිනී සබඳතාවය සහ අන්තර්ජාල සබඳතාවය වැනි විවිධ සබඳතා කිහිපයක්ම එකම රැහැනක් ඔස්සේ එකවර ලබාගතහැකි වන්නේ මෙම broadband තාක්ෂණයේ බල මහිමයෙනි.



දත්ත සන්නිවේදන වේගය


විශේෂයෙන් අන්තර්ජාල සබඳතා පිළිබඳව කතා කිරීමේදී දත්ත සන්නිවේදන වේගය අනිවාර්‍යයෙන්ම සැලකිය යුතු කරුණකි. ඕනෑම අන්තර්ජාල සේවා සපයන ආයතනයක (Internet Service Provider / ISP) වෙළඳ දැන්වීමක් හෝ වෙනත් ප්‍රචාරන කටයුත්තකදී ඔවුන් ලබාදෙන සබඳතාවයේ වේගය පිළිබඳව සඳහන් කරයි. නමුත් බොහෝ පරිශීලකයින්ට ඇති ගැටළුව වන්නේ ඔවුන් එම සබඳතාවය මිලදී ගත් පසු දැන්වීමේ තිබූ වේගය ඔවුන්ට සැබවින්ම නොලැබීමයි. මෙම ගැටළුව ඇතිවන බොහෝ අවථාවන් වලදී සැබවින්ම අදාල සමාගම සතුව කිසිදු වැරැද්දක් නොමැති අතර ගැටළුව ඇත්තේ පරිශීලකයා වෙළඳ දැන්වීම නිසි ලෙස තේරුම් නොගැනීම තුලයි.


bits සහ Bytes හඳුනාගනිමු


 1 Byte = 8 bits 


පරිගනක තුල දත්ත වල විශාලතවය මැනීම සඳහා සම්මත ඒකකය ලෙස “Byte” භාවිතා කරයි මෙය කැපිටල් B අක්ෂරයෙන් සංකේතවත් කරනු ලැබේ. Byte 1024ක් එක් වීමෙන් Kilobyte එකක් (KB) සෑදෙන අතර KB 1024ක් එක් වීමෙන් Megabyte (MB) එකක් සෑදේ. මෙය සරළ පරිගනක දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙක් හොඳින් දන්නා කරුණකි.

නමුත් බොහෝ විට ඔබ නොදන්නා කරුණ වන්නේ දත්ත සන්නිවේදන වේගය මැනීමට යොදාගන්නා සම්මත ඒකකය Byte නොව bit යන්නයි. bit එකක් යනු Byte එකකින් අටෙන් පංගුවකි. එනම් එක් Byte එකක් සෑදීමට bit අටක් අවශ්‍ය වේ. Megabyte එකක් යනු Megabit 8 කි. bit එකක් ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් b අක්ෂරයෙන් නිරූපණය කරනු ලබයි.

ඔබේ අන්තර්ජාල සේවා සපයන ආයතනය (ISP) විසින් ඔබට ප්‍රකාශ කරනු ලබන වේගය සඳහන් වන්නේ මෙම bit වලිනි. එනම් ඔබේ අන්තර්ජාල සබඳතාවය 1Mbps නම් එයින් අදහස් වන්නේ තත්පරයකට “Megabit” එකක වේගයක් ඇති බවයි. මෙම සබඳතාවය තුලින් 1 Megabyte දත්ත ගොනුවක් භාගත කිරීමට ඔබට තත්පර 8ක කාලයක් ගතවේ.      

මෙම bit වලින් සඳහන් වන වේගය Byte ලෙස වරදවා වටහාගැනීම බොහෝ පාරිභෝගිකයින් විසින් සිදුකරන අතපසු කිරීමක වන අතර bit සහ Byte අතර වෙනස නිසි ලෙස හඳුනාගැනීමෙන් මෙම ගැටළුව සාර්ථකව නිරාකරණය කරගතහැක.



Latency හෙවත් ගුප්තතාවය


ඔබ broadband සබඳතාවයක් මිලදී ගැනීමේදී බොහෝවිට සැලකිලිමත් වන්නේ එහි වේගය ගැන පමණි. නමුත් ගුප්තතාවය හෙවත් Latency යනු ඔබේ broadband සබඳතාවයේ සලකා බැලියයුතු තවත් ඉතා වැදගත් ගුනාංගයකි.

ඔබ broadband සබඳතාවය ඔස්සේ යම්කිසි පණිවිඩයක් (signal) යැවූ විට එය ග්‍රාහක අග්‍රය වෙත ප්‍රවේශ වීමට ගතවන කාලය latency ලෙස හඳූන්වයි. ජාලය ඔස්සේ තත්කාලීන සන්නිවේදනයන් (real-time communication) සිදුකිරීමේදී මෙම ගුප්තතාවය (latency) ඉතමත වැදගත් වන අතර සාමාන්‍යයෙන් හොඳ තත්වයේ real-time connection එකක් පවත්වාගැනීම සඳහා ඔබේ සබඳතාවයෙ latency අගය මිලි තත්පර 250ක් පමණ (250ms) හෝ ඊට අඩු විය යුතුය.

ඔබේ සබඳතාවයේ latency අගය මිලි තත්පර 500ක් පමණ හෝ ඊට වඩා විශාල අගයක් ගන්නේ නම් එය කිසිසේත්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දුරකතන සංවාද වැනි කටයුතු සඳහා සුදුසු නොවේ. ඔබ නිතර skype හෝ වෙනත් එවැනි දුරකතන, video call සේවාවන් භාවිතා කරන අයෙක් නම් ඉතා අඩු latency අගයකින් යුත් broadband සබඳතාවයක් මිලදී ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය.


Dynamic සහ Static IP address හඳුනාගනිමු


IP ලිපිනය යනු පරිගනක ජාලයක් හෝ අන්තර්ජාලය තුල ඔබේ පරිගනකය හඳුනාගැනීමට භාවිතා කරන විශේෂ වූ ලිපිනයකි. ඔබ broadband සබඳතාවයක් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමේදී ඔබේ අන්තර්ජාල සේවා සපයන සමාගම (ISP) විසින් ඔබට IP ලිපිනයක් ලබා දේ. ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ එම IP ලිපිනය ඔස්සේ ය. නමුත් ශ්‍රී ලංකාවේ නම් බොහෝවිට ඔබේ ISP විසින් ලබාදෙන මෙම IP ලිපිනය ගතික (Dynamic) IP ලිපිනයකි. එනම් ඔබ අන්තර්ජාලයට සම්බන්ද වන අවස්ථාවේ ඔවුන්ගේ ජාලය තුල නිදහස්ව ඇති IP ලිපිනයක් ඔබට ලබා දේ. නමුත් ඔබ සම්බන්ධතාවය විසන්ධි කර (disconnect) නැවත සම්බන්ධ වීමේදී යලිත් ඔබට ලැබෙන්නේ පෙර ලිපිනයම නොවියහැක. නමුත් අන්තර්ජාල තුල වෙබ් පිටු වලට පිවිසෙන සාමාන්‍ය පරිශීලකයෙකුට මෙය එතරම් ගැටළුව නොවේ. ඔවුන්ගේ IP ලිපිනය කුමක්ද කියා දැනගැනීමට තරම් වත් ඔවුනට අවශ්‍යතාවයක් නැත.

නමුත් ඔබ සතුව අන්තර්ජාලයට සම්බන්ධිත සේවා දායක පරිගනකයක් (server) තිබේ නම් Dynamic IP address එකක් ඔබට විවිධ ගැටළු මතු කරනු නිසැකය. වෙනත් පරිගනක පරිශීලකයින් ඔබේ server පරිගනකයට පිවිසෙන්නේ එහි IP ලිපිනය ඔස්සේ බැවින් IP ලිපිනය නිතර නිතර වෙනස් වීම නිසා එම පරිශීලකයින් හට ඔබේ server එක හඳුනාගත නොහැකි වේ.
මීට අමතරව ඇතැම් e-mail server මගින් dynamic IP ලිපින සහිත පරිගනක  වලින් එවන ලද e-mail පණිවිඩ spam ලෙස හඳුනාගැනීම නිසා ද විවිධ ගැටළු ඇතිවිය හැක.

මේ ඔබ ව්‍යාපාරික කටයුතු සඳහා broadband සබඳතාවයක් මිලදී ගන්නේ නම්  dynamic IP ලිපිනයකට වඩා Static IP ලිපිනයක් ඔබට යෝග්‍ය වේ. Static IP ලිපිනයක් ලබාගැනීමට ඔබට ඔබේ ISP වෙත යම් ගෙවීමක් කිරීමට සිදු වන අතර එමගින් ඔබටම අනන්‍ය වූ ස්ථිර IP ලිපිනයක් ලැබේ. එය කිසි විටෙකත් වෙනස් නොවන බැවින් web server, database server වැනි සේවාදායකයන් පවත්වාගෙන යාමට ඉතාමත් පහසු වේ.

එබැවින් ඔබේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඔබට අවශ්‍යනම් Static IP ලිපිනයක් සමග ඔබේ  broadband සබඳතාවය මිලදී ගැනීම සැලකිලිඅත් වන්න.

(IP ලිපින සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් කියවන්න)

ඔබේ IP ලිපිනය, broadband සබඳතාවයේ වේගය සහ latency අගය පිළිබඳ ස්වයං පරීක්ෂාවක් සිදුකරගැනීමට පහත වෙබ් අඩවියොදාගතහැක.

Broadband Internet


වර්ථමානය වනවිට අන්තර්ජාල සබඳතාවයක් යනු සෑම පුද්ගලයෙකු ම සතු පහසුකමක් බවට පත්වී හමාරය. විවිධ අන්තර්ජාල සේවා සපයන සමාගම් (ISP) විසින් විවිධ තාක්ෂණයන්ගෙන් බලගැන්වූ අන්තර්ජාල සබඳතා වෙළඳපොලට ලබාදේ. මෙම එක් එක් වර්ගයේ සබඳතා තුල භාවිතා වන තාක්ෂණයන් සහ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම තාක්ෂණය හඳුනාගන්නා ආකාරය පිළිබඳව කරුණු කිහිපයක් සලකා බලමු.


Mobile Broadband


අද වනවිට බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය අන්තර්ජාල සබඳතාවයක් ලෙස mobile broadband හඳුන්වාදිය හැක. විශේෂයෙන් ජංගම දුරකතන සඳහා අද වනවිට මෙම තාක්ෂණය බෙහෙවින් භාවිතා කරන අතර Laptop පරිගනක, tablet පරිගනක සහ වෙනත් විවිධ ජංගම උපාංග වෙත ඉතා පහසුවෙන් අන්තර්ජාල සබඳතාවය ලබාගැනීමට භාවිතා කරයි. මෙහිදී ජංගම දුරකතන ජාල ඔස්සේ දත්ත සම්ප්‍රේශණය සිදු කරණ අතර දුරකතන සබඳතාවයට භාවිතා කරන තරංග සංඛ්‍යාත පරාසයට වඩා පුළුල් සහ ඉහල සංඛ්‍යාත පරාසයන් භාවිතා කරයි.

EDGE, 3G, 4G, WiMax වැනි විවිධ ආකාරයන්ගෙන් ඔබට mobile broadband සබඳතාවයක් ලබාගතහැකි අතර EDGE සබඳතාවයකින් ලබාගතහැකි උපරිම දත්ත සම්ප්‍රේශණ වේගය 236Kbps (Kilobits per second) පමණ වේ. 3G සබඳතාවයක් හරහා තත්පරයකට Megabits කිහිපයක වේගයකින් යුත් සබඳතාවයක් ලබාගතහැකි වන අතර නවතම 4G දත්ත සබඳතාවයක් ඔස්සේ ඔබට මේ සියල්ලට ම වඩා ඉහල වේග වලින් යුත් අන්තර්ජාල ප්‍රවේශයක් ලබාගතහැකි වේ.

ඔබට ඕනෑම තැනක සිට අන්තර්ජාලයට සම්බන්ද වීම ඉතා පහසු වීම mobile broadband සබඳතාවයක ඇති සුවිශේෂීම ලක්ෂණය ලෙස දැක්විය හැකි අතර mobile broadband modem (internet dongle) එකක් භාවිතා කර අවශ්‍ය ඕනෑම පරිගනකයක් හරහා ඉතා පහසුවෙන් අන්තර්ජාල ප්‍රවේශය ලබාගතහැකි වීම ද තවත් එක් වාසියකි.

කෙසේ වෙතත් මෙවන් mobile broadband සබඳතාවයක් ලබාගැනීමට නම් මුලින්ම ඔබ සිටින ප්‍රදේශයට අදාල ජංගම දුරකතන ජාලයේ ආවරණය (coverage) තිබීම අනිවාර්ය කරුණකි. ඔබට ලැබෙන signal ප්‍රභලතාවය (strength) මත ඔබේ mobile broadband සබඳතාවයේ වේගය හා ස්ථාවරත්වය රඳා පවතින අතර වර්ෂාව, ඝණ මීදුම වැනි පාරිසරික සාධක ද ඔබේ signal strength එක අඩු වීම කෙරෙහි හේතු විය හැක.


DSL internet



DSL යන්නෙන් නිරූපනය වන්නේ Digital Subscriber Line යන්නයි. නමුත් අපට වඩාත් හුරු පුරුදු වචයන වන්නේ DSL නොව ADSL ය. ADSL යනු DSL තාක්ෂණයේම එක්තරා ප්‍රවර්ගයක් (category) වන අතර මෙහි A අක්ෂරයෙන් Asymmetric යන්න නිරූපනය කරයි.

Asymmetric යන වචනයෙන් “අසමමිතික” යන අර්ථය නිරූපනය කරන අතර ADSL යනු සැබැවින්ම අසමමිතික DSL සබඳතාවයකි. එනම් DSL සබඳතා තුල දත්ත download වෙගයත් upload වේගයත්  සමාන අගයක පැවතුනත් ADSL සබඳතාවයක දත්ත download සහ upload වේගයන් අතර විශාල පරතරයක් ඇත. බොහෝ විට ADSL සබඳතාවයක දත්ත download වේගය ඉතා ඉහල අගයක් ගන්නා අතර upload වේගය සාපේක්ෂව පහල මට්ටමක පවතී. නමුත් විවිධ සේවාවන් ලබාගැනීමට පමණක් අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයෙකුට (end user) වඩා වැදගත් වන්නේ download speed එක බැවින් upload speed එක අඩු වීම එවන් පරිශීලකයෙකුට එතරම් වැදගත් නොවේ.

නමුත් ඔබ අන්තර්ජාලය තුලින් විවිධ සේවා සැපයීමට බලාපොරොත්තු වන පුද්ගලයෙක් නම් ඔබේ අන්තර්ජාල සබඳතාවයේ upload speed එක ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුය. උදාහරනයක් ලෙස ඔබ ADSL සබඳතාවයක් ඔස්සේ වෙබ් සේවාදායකයක් (web server) , දත්ත පාදක සේවා දායකයක් (database server) හෝ වෙනත් එවන් සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට download speed එක කෙතරම් ඉහල අගයක තිබෙන ADSL සබඳතාවයක් වුවත් කිසිසේත්ම නොගැලපේ.

ADSL අන්තර්ජාල සබඳතාවයක් මිලදී ගැනීමට පෙර ඔබ සැලකිලිමත් වියයුතු තවත් කරුණක් වන්නේ ඔබේ අන්තර්ජාල සේවා සපයන සමාගමේ (ISP) ADSL centrel office එකේ සිට ඇති දුරයි. සාමාණ්යයෙන් ADSL සබඳතාවයක් ඉතා හොඳින් ක්‍රියාත්මක වන්නේ central office එකේ සිට 5km දක්වා දුර සීමාවක් තුල පමණි. එම සීමාවෙන් පිටතට යත්ම සබඳතාවයේ වේගය සහ ස්ථාවරත්වය ක්‍රමයෙන් අඩුවේ.
ADSL සබඳතාවය සමග ඔබට “සේවාව සහතික කිරීමේ ගිවිසුමක්” (Service Level Agreement) ද නොලැබෙන බැවින් ඔබ සබඳතාවයක් මිලදී ගැනීමට පෙර මෙම කරුණ පිළිබඳව බොහෝ සැලකිලිමත් විය යුතුය. එසේ නොකිරීමෙන් ඔබට ලැබෙන සබඳතාවයේ සඳහන් කරනලද වේගයන් නොලැබුනොත් සමාගම ඒ වෙනුවෙන් කිසිදු වගකීමක් නොදැරීමටද ඉඩ ඇත.  

කෙසේ වෙතත් පෙර සඳහන් කල mobile broadband වලට වඩා ADSL සබඳතාවයක සුවිශේෂී ගුනාංග කිහිපයකුත් දැකගත හැක. ඉන් ප්‍රධානතම කරුණ වන්නේ ඔබේ ADSL සබඳතාවය ඔබට ලැබෙන්නේ ඔබටම අනන්‍ය වූ රැහැනකින් වීමයි. එනම් සෑම ADSL පාරිබෝගිකයෙකු ම වෙන් වෙන් වූ රැහැන් ඔස්සේ අන්තර්ජාල සේවා සපයන සමාගම (ISP) වෙත සම්බන්ද වේ. මේ නිසා කොපමන පරිශීලකයින් පිරිසක් එකවර සම්බන්ධ වුවත් ඔබේ සබඳතාවයේ වේගය අඩු වීමක් සිදු නොවේ.

ජංගම දුරකතන ජාල තුලත් මේ වනවිට ඉතා විශාල පරිශීලකයින් පිරිසකට එකවර සම්බන්ධ වීමේ හැකියාව ලබාදී තිබුනත් න්‍යායාත්මකව පරිශීලකයින් ක්‍රමයෙන් වැඩි වනවිට එම ජාල අකාර්‍යක්ෂම වීමට ඉඩ ඇත. ඔබට ඕනෑම මොහොතක ඉතාමත් ස්ථාවර අන්තර්ජාල සබඳතාවයක් අවශ්‍ය නම් මෙම ගැටළුවට ADSL ඔස්සේ සාර්ථකව පිළියම් යෙදිය හැක.

වර්ෂාව, මීදුම වැනි පාරිසරික හේතු නිසා සබඳතාවය අකර්මන්‍ය නොවීමම, ඉතාමත් පහසුවෙන් විශාල පරිගනක ප්‍රමාණයකට වුවත් එකවර සබඳතාවය ලබාදීමේ හැකියාවම, ස්ථාවරත්වය, mobile broadband සබඳතාවයකට වඩා වැඩි සහ ස්‍ථාවර සන්නිවේදන වේගයක් පවත්වාගැනීම වැනි කරුණු ADSL සබඳතාවයක ඇති විශේෂතා ලෙස හඳුන්වා දිය හැක.


වෙනත් broadband internet සබඳතා වර්ග

T1 Connection


T1 යනු ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත නොවුනත් broadband ක්‍රමයට අන්තර්ජාල සබඳතාවයක් ලබාගතහැකි තාක්ෂණික ක්‍රමවේදයකි. එක T1 line එකක් තුල 64kbps වේගයක් සහිත channels 24ක් ඇති අතර මෙම සියළුම channels එක්ව භාවිතා කරන විට 1.5Mbps දත්ත සම්ප්‍රේශණ වේගයක් ලබාගතහැක. නමුත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව මෙම channels වලින් අවශ්‍ය ප්‍රමාණයක් දුරකතන වෙහ්ත සහ තවස් තෝරාගත් ප්‍රමාණයක් අන්තර්ජාල සබඳතාවය වෙත වෙන් වෙන්ව ලබාගතහැක.

මෙහි සුවිශේෂී ලක්ෂණයක් වනුයේ මෙය Asymmetric සබඳතාවයක් නොවීමයි.  එනම් T1 සබඳතාවයක් තුල upload සහ download යන දෙ දිශාවටම දත්ත සම්ප්‍රේශණ වේගයන් සමාන වේ. මීට අමතරව T1 සඳහා “සේවා සහතික කිරීමේ ගිවිසුමක්” (Service Level Agreement) ලබාගතහැකි අතර එහි වේගයේ ස්ථාවරත්වය වෙනුවෙන් ISP විසින් 99.99%ක වගකීම් සහතිකයක් ලබා දේ.

කෙසේ වෙතත් මේවා ADSL සහ mobile broadband වලට වඩා බොහෝ මිල අධික ය. ආයතනික කටයුතු සඳහා වඩා සුදුසු වේ.


Satellite Internet


මෙයත් ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත ක්‍රමවේදයක් නොවේ. නමුත් මුහුදු යාත්‍රා, කාන්තාර ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ වැනි ADSL, mobile broadband හෝ T1 සබඳතාවයක් ලබාගැනීමට නොහැකි ප්‍රදේශ වෙත අන්තර්ජාල පහසුකම ලබාගැනීමට satellite internet ප්‍රයෝජනවත් වේ. සාමාන්‍යයෙන් හොඳ දත්ත සම්ප්‍රේෂණ වේගයක් පවත්වාගතහැකි වුවත් satellite internet සබඳතාවයක ඇති ප්‍රධානතම දුර්වලතාවය වන්නේ සබඳතාවයේ ගුප්තතාවය (latency) සාපේක්ෂව ඉහල අගයක් ගැනීමයි. පොළව මතුපිට සිට 35,786km පමණ වූ ඉතා දුරින් කක්ෂගතව ඇති  චන්ද්‍රිකාවක් සමග දත්ත හුවමාරු කිරීමට සිදුවීම මෙයට හේතුවයි. විද්‍යුත් චුම්භක තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කලත් මෙතරම් විශාල දුරක් ගමන් කිරීමේදී 500ms පමණ වූ latency අගයක් ඇතිවේ. මේ නිසා satellite internet සබඳතා real-time communication සඳහා එතරම් යෝග්‍ය නොවේ.


මෙම T1 සහ satellite internet සබඳතා ADSL සහ mobile broadband වලට වඩා තරමක් මිල අධික බවද මෙහිදී ඔබට සිහිපත් කළයුතුය.
මීට අමතරව තවත් විවිධ වර්ගයේ broadband සබඳතා ලොව පුරා සුවහසක් පරිගනක පරිශීලකයින්ගේ කාර්‍යයන් පහසු කිරීමෙහි ලා ක්‍රියාත්මක වුවත් broadband තාක්ෂණය හඳූනාගැනීමට මෙම කරුණු කිහිපය ඔබට බෙහෙවින් ප්‍රමාණවත් වනු ඇත.

ඔබ අළුතින් broadband සබඳතාවයක් මිලදී ගැනීමට අදහස් කරන අයෙක් නම් ඔබේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඊට වඩාත් සුදුසු සබඳතාවය තෝරාගන්න.