Monday, October 6, 2014

NFC තාක්ෂණය

ෆෝන් එකෙන් මුදල් යවන්න හා ගෙවන්න අපේ රටේ උදවිය මුලදී නම් ටිකක් ඈලි මෑලි වුනා. නමුත් මේ වන විට නම් ක්‍රම ක්‍රමයෙන් ජනතාව මනි ඕඩර් වලට සමුදෙමින් ෆෝන් එකෙන් මුදල් යවන්නටත් ගෙන්වා ගැනීමටත් හුරුවෙමින් පවතී. කෙසේ වුවත් මෙමගින් මුදල් යැවීම ඉතාමත් සුන්දර අත්දැකීමක් වුවත්, ලබන්නාට මුදල් ලබාගැනීමට නම් කමියුනිකේෂන් කඩ දහයකටවත් ගොඩ වැදීමට සිදුවේ. එයට හේතුව අපේ රටේ වෙළ‍ඳ ප්‍රජාව ස්වභාවයෙන්ම මුදල් ගැනීමට මිස දීමට එතරම් උනන්දුවක් නොදක්වන නිසායි.
කෙසේ වුවද අදාල සමාගමේ ශාඛා කාර්යාලයකට ගියොත් නම් ‘එන්න සර්… මෙන්න සල්ලි‘ කියා ඉක්මනින්ම මුදල් ලබාගත හැකිය. කෙසේ වුවද දුරකථනය හරහා මුදල් ගනුදෙනු වලට මේ වන විට අපේ රටේ ජනතාව ටිකෙන් ටික හුරුවෙමින් පවතී. අප මේ සටහන ලියන්නට හිතුවේ දුරකථනයෙන් මුදල් යැවීම නම් සරල කාර්යයෙන් ඔබ්බට ගිය නූතන මොබයිල් වාණිජකරණය ගැන ටිකක් කථා කරන්නටයි…
මිනිසුන්ට සීමිත සම්පත් හා අසීමිත වුවමනා ඇත. මෙම වුවමනාවන් මිළ දී ගැනීමට ඈත අතීතයේ සිට මිනිසා යොමු වී සිටියේය. පළමුව සිදුවූයේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කිරීමයි. ඉන්පසුව පොදුවේ වටිනා යැයි පිළිගත් රන් හා රිදී වැනි දේට භාණ්ඩ හුවමාරු කිරීමට මිනිසා පෙළඹුනි. පසුව පැමිණියේ රන් හෝ රිදී කාසි වලින් ගණුදෙනු කිරීමේ යුගයයි. මුදලේ මෑත කාලීන පරිවර්තනය නම් කාසි හා නෝට්ටු හෙවත් ‘‘නිමිති මුදල්ය’’. මේවායේ ඇත්තේ ආරෝපිත වටිනාකමකි.
නිමිති මුදල් වලට පසුව පැමිණියේ ඉලෙක්ට්‍රොනික මුදල්ය. Credit හා Debit කාඞ්පත් මෙයට අයත් වේ. මුදලේ නවතම විකාශනය වන්නේ Mobile Cash ය. ‍මෙහි ආගමනයත් සමග පෙර පැවති නිමිති මුදල් හා ඉලෙක්ට්‍රොනික මුදල් අභාවයට යන ලකුණුත් Mobile ආර්ථිකයක් හෙවත් M-Commerse ඇති වීමේ ලකුණුත් දැන් පහළ වී ඇත. M-Commerce ය යනු ඔබේ ජංගම දුරකථනයේ ඇති Credit හෙවත් ඔබ විසින් දුරකථනයට ඇතුලත් කල හෝ ඔබේ බැංකු ගිණුම ගිණුම දුරකථනයට සම්බන්ධ කර තිබීම වැනි ක්‍රමවේදයක් මගින් යම් ගණුදෙනුවක් සඳහා මුදල් ගෙවීමේ ක‍්‍රමයයි.
මෑතකදී එක්සත් රාජධානියට හඳුන්වාදුන් NFC Mobile Wallet යනු ජංගම දුරකථනය Credit Card කියවනයක් ආසන්නයට ගෙන යාමෙන් පමණක් මුදල් ගෙවීමට හැකි ක‍්‍රමවේදයකි. NFC යනු Near Field Communication හෙවත් එක් උපකරණයක් ආසන්නයට තවත් උපකරණයක් ගෙන යාමෙන් පමණක් එම උපකරණ රැහැන් රහිතව සම්බන්ධ කළ හැකි තාක්‍ෂණයකි. ගූගල් සමාගම ද Google Wallet ලෙස Smart Phone සඳහා මෙම තාක්‍ෂණය හඳුන්වාදීමට උත්සුක වී සිටියි. දැන් නිකුත් වන නවීන Credit හා Debit Card තුළ ද NFC චිප් අන්තර්ගත කර ඇති බැවින් ක්‍රෙඩිට් කාඩ් කියවනයට සෙන්ටිමීටර කිහිපයක් කාඞ් එක ලං කොට ගෙවීම් කළ හැකිය.
NFC ක‍්‍රියාත්මක වන ආකාරය සරළය. ඔබට අවශ්‍ය වන්නේ NFC පහසුකම ඇතුළත් දුරකථනයක් සහ NFC මගින් ගෙවීම් කල හැකි සාප්පුවක් සොයා ගැනීම පමණි. අදාළ මිළදී ගැනීම කරන විට NFC තාක්ෂණයට අනුකූල කාඩ් කියවන උපකරණය අසලට දුරකථනය ගෙන යාමෙන් ගෙවීම් කිරීම කළ හැකිය. මෙහිදී සිදුවන්නේ දුරකථනයට සම්බන්ධ කරන ලද බැංකු ගිණුමකින් හෝ දුරකථනයේ සිම් පත තුළ ඇති ක්‍රෙඩිට් මගින් මුදල් ගෙවීමයි.
NFC තාක්‍ෂණය සුරක්‍ෂිතය, පහසුය. ඔබට දරුවන් අතට මුදල් දීමට අවශ්‍ය නම් හා ඔවුන් පාලනයක් සහිතව එම මුදල් වියදම් කරනු සැලසුම් කිරීමට අවශ්‍ය නම් එයට හොඳම විසඳුම Mobile Wallet එකයි. ඔබට දරුවාගේ ජංගම දුරකථනයට මුදල් යවා, ඔවුන්ට එම මුදලින් මිළට ගැනීමට හැකි භාණ්ඩ තීරණය කිරීමට හැකියි. එසේම මුදල් කොහේදී ද, කුමන වේලාවට ද, කුමක් සඳහා වියදම් කළේ දැයි සවිස්තරාත්මක වාර්තාවක් ද ලබා ගැනීමට හැකිය. කෙසේ වුවද, NFC Mobile Wallet හි තවත් විසඳිය යුතු අඩු පාඩු රාශියක් ඇත. උදාහරණයක් ලෙස යම් පුද්ගලයකු තම කෝට් සාක්කුවේ NFC Reader එකක් දමාගෙන බසයක හෝ මාර්ගයක ගමන් කරද්දී ඔහු අසලින් යන තවත් පුද්ගලයකුගේ NFC දුරකථනයක් හා ස්වයංක‍්‍රීයව සම්බන්ධ වීමට ඉඩ ඇති බැවින් අතපය නොසල්වා පික් පොකට් ගැසීමේ කලාවක් බිහිවනු ඇත. එසේම යම් අයෙකුගේ දුරකථනය නැතිවුවහොත් හෝ සොරකම් කළහොත් එම දුරකථනයෙන් වෙනත් අයෙකුට මුදල් ලබා ගැනීමට හැකි වනු ඇත.
මේ සඳහා විසඳුම් බොහොමයක් ඉදිරිපත් ඇති අතර වඩාත් සිත් ගන්නා සුළු පිළියම නම් ගෙවීමක් කරන විට අන්ත දෙකෙන්ම එනම් පාරිභෝගිකයාගේ දුරකථනයෙන් හා වෙලෙන්දාගේ රීඩරයෙන්ද පාස්වර්ඩ් එකක් ඇතුලත්කල යුතු වීමයි. මෙය වෙනත් තුන්වන උපකරණයකින් විටින් විට ලබා ගත හැකි Top up, හෙවත් ‘One time‘ key එකකි. ලංකාවේ HSBC බැංකුවෙන් පාරිභෝගිකයන්ට තම ගිණුමේ ශේෂය අන්තර්ජාලයෙන් පරික්ෂා කිරීමට මෙවන් තාක්‍ෂණයක් හඳුන්වා දී ඇති අතර එහිදී සිදුවන්නේ බැංකුව මගින් පාරිභෝගිකයන්ට ලබා දී ඇති Key Tag එකක බොත්තමක් එබීමෙන් ඒ වේලාවට පමණක් භාවිතා කළ හැකි මුරපද Password එකක් ලබා ගැනීමයි. මෙම තාක්‍ෂණය ද සහිතව දියුණු කරන ලද NFC පහසුකම සහිත ජංගම දුරකථන නුදුරේදීම වෙළඳපලට පිවිසෙනු ඇති අතර නිසි වානිජ්‍යමය හා ආර්ථිකමය දියුණුවීම් ඇති වුවහොත් ලංකාව පුරා ද මෙම තාක්‍ෂණය ඉක්මනින් ජනප‍්‍රිය වනු ඇත. පහසු හා සුරක්‍ෂිත මුදල් ගෙවීමේ මාධ්‍යයක් වන බැවින් Mobile Wallet තාක්‍ෂණය වසර 2030 වන විට ලෝකයේ සියළුම සංවර්ධිත රටවල ප‍්‍රධාන ගෙවුම් මාධ්‍යය වීමට ඉඩ ඇති අතර කාසි, නෝට්ටු හා අනෙතුත් ඉලෙක්ට්‍රොනික මුදල් කෞතුකාගාර වලට සීමාවීමට ද ඉඩ ඇත

No comments:

Post a Comment