Friday, December 12, 2014

ගුවන් සේවිකාවක් වෙන්න කැමති අයට


අනාගත බලාපොරොත්තුව මොකද්ද කියලා ඇසූ සැනින් ලොකු ලොකු තත්ත්ව තරාතිරම්වල රැකියා සඳහන් කිරීම දරුවන් කුඩා කාලයේ දී සිදු කරන්නකි.
ඒ රැකියා අතර වෛද්‍යවරු, ගුරුවරු, ඉංජිනේරුවරු ඉහළින් සිටිති. ඒ අතරින් ගුවන් සේවක සේවිකාවෝවීමට කැමති බව පවසන දරුවෝ ද සිටිති. ගුවන් සේවිකාවගේ රැකියාවට සමාජයේ හිමි වී ඇති ස්ථානය කවරක් ද? ඇසූ සැනින් සමාජයේ එය එතරම් පිළිගැනීමකින් තොර බවක් නම් පෙනේ. එහෙත් එම රැකියාවට ලැබී තිබෙන එම පිළිගැනීම හෝ දෝශාරෝපණය සාධාරණ ද යන්න සිතා බැලිය යුතුම ය.
මොනර පිළක් වැනි කොළපාට ඔසරියකින් ඇය සැරසී සිටින්නී ය. කොණ්ඩය උඩට කර පිටුපසට පීරා ගෙඩියක් ආකාරයට සකසා ඇත. ඉතාම සුන්දර සිනහවකින් මුව සරසාගෙන ගුවන් යානයේ ඔබ මොබ සැරිසරමින් දෙස් විදෙස් මගීන් සමග සුහද ව වැඩ කරන ඇය සුන්දර ය. කඩිසර ය.
මැය නෙත ගැටෙන ඕනෑම යුවතියක් තමාටත් ගුවන් සේවිකාවක්වන්නට ඇත්නම් යැයි සිතනවා නොඅනුමාන ය. ඕනෑම මවක් වුව ද තම දියණිය ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනවා දකින්නට කැමතිවනු ඇත.
"සාමාන්‍යයෙන් ගුවන් සමාගමට ගුවන් සේවිකාවන් ලෙස බඳවාගන්නේ තරුණ සුන්දර පිරිසක්. සුන්දරත්වය යුවතියගෙන් යුවතියට වෙනස් වෙනවා මෙන් ම සියළුදෙනා තුළ ම හොඳ පෞරුෂත්වයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා." යන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අදහසයි.
පිරිමි 35% සහ ගැහැණු 65% වශයෙන් ගුවන් සේවක සේවිකාවන් සඳහා ගැහැණු පිරිමි දෙපකෂය ම බඳවා ගනී.
ගැහැණු පිරිමි දෙපාර්ශවයේම බඳවා ගැනීමේ සුදුසුකම් හාත් පසින් ම වෙනස්. ගුවන් සේවිකාවක් ලෙස අපි බඳවා ගනු ලබන්නේ වයස අවුරුදු 18 ත් 29 ත් අතර අවිවාහක යුවතියන් ය. උස අඩි 05යි අඟල් 02 සම්පූර්ණ කළ අ.පො.ස (සා·පෙළ) සමත් ඉංග්‍රීසි විෂයට "C" සාමාර්ථයක් ලබාගෙන සිටින ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කළ හැකි ඕනෑම යුවතියකට ගුවන් සේවිකා තනතුර වෙනුවෙන් අයැඳුම් කළ හැකි ය.
ඊළඟට ඔබ හිතනවා ඇත්තේ ගුවන් සේවිකාවක් ලෙස අයැඳුම් කරන්නේ කොහොම ද කියලනේ.  ගුවන් සේවිකාවන් සඳහා පූරප්පාඩු ඇති අවස්ථාවල සතියේ සහ සති අන්තයේ ජාතික පුවත්පත්වල දෑන්වීම් පළ කරනවා. ඒ වගේම වෙබ් අඩවිය හරහා ද අයැඳුම්පත් ඉදිරිපත් කළ හැකියි. අප වෙත එවන සියළු අයැඳුම්පත් අදාල සුදුසුකම් සපුරා ඇත්නම් පළමු වටයේ සම්මුඛ පරීකෂණය සඳහා තෝරා ගන්නවා. පළමු සම්මුඛ පරීකෂණයේ දී අයැඳුම්කරුවන් සැරසිය යුත්තේ ඔසරියකින්. එතන දී අයැඳුම්කරුවෙක් විසින් රැගෙන ආ යුතු ලිපි සහ සහතික ගැන අපි දැනුවත් කිරීමක් කරනවා. ග්‍රාම සේවක සහතිකය, පාසල් හැරයාමේ සහතිකය, ජාතික හැඳුනුම්පතේ පිටපතක්, සහ අධ්‍යාපන සහතික තමයි බොහෝ වෙලාවට අයඳුම්කරුවෙකුට රැගෙන එන ලෙස දෑනුම් දෙයි.
විශේෂයෙන්ම පළමු සම්මුඛ පරීකෂණයේ දී අපි සැළකිලිමත්වන්නේ අපේ අයැඳුම්කරුවන් අදාල උස ප්‍රමාණය සපුරා තිබේ ද? එම උසට අදාල බර ප්‍රමාණය සහ අධ්‍යාපන සුදුසුකම් සපයා තිබේ ද යන්න පමණයි. විශේෂයෙන් ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම සම්මුඛ පරීකෂණයේ දී තිබීම අනිවාර්ය වෙනවා වගේ ම යුවතිය තුළ මනා පෞර්ෂයක් තිබිය යුතු ය.
පළමු සම්මුඛ පරීකෂණයෙන් තෝරා ගන්නා යුවතියන් දෙවැනි සම්මුඛ පරීකෂණයට යොමු කරනවා. එතන දී අපි මූලික අවධානය යොමු කරන්නේ යුවතියන්ගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳ පරීකෂාවටයි. මෙතන දී දෙවැනි පරීකෂණයට තෝරා ගනු ලබන යුවතියන්ට අපි විසින් නිර්දේශ කරන ලද පොතක, විශේෂයෙන් ම ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතියක් ඇති පොතකින් ඔවුන්ට කැමති පිටුවක් තෝරාගෙන එය ශබ්ද නගා තේරුම් ඇති ව කියවන්නත් එයින් කියැවෙන දේ විස්තර කරන්නත් අවස්ථාව දෙනවා. 
මෙම සම්මුඛ පරීකෂණය සාමාන්‍යයෙන් සිදුවන්නේ අප ආයතනයේ විධායක නිලධාරී මඩුල්ලක් ඉදිරිපිටයි. මෙම සම්මුඛ පරීකෂණයෙන් සමත්වන යුවතියන් සියළු දෙනාම පූර්ණ වෛද්‍ය පරීකෂණයකට භාජනය කර එහි වාර්තාවක් ලබා ගැනීමක් සිදු කරනවා. මේ සියල්ල සම්පූර්ණ කරන යුවතියන් පුහූණු ගුවන් සේවිකා තනතුර සඳහා බඳවා ගනී.
දෙවැනි සම්මුඛ පරීක්ෂණයේ දී වැඩි අවධානයක් යොමු කරන ඉංග්‍රීසි විෂය ගැන එහි චතුරත්වය පිළිබඳවයි. ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂා, ප්‍රංශ, චීන, හින්දි, දෙමළ, ජපන් භාෂා හොඳින් කතා කිරීම සහ තේරුම් ගැනීමේ හැකියාව අමතර සුදුසුකම් ලෙස භාවිත කරන්න පුළුවන්.
අපේ සංස්කෘතිය තුළත් ඕනෑම කෙනෙක් කාන්තාවක් අතින් වර්ණනා වෙනවට කැමතියි. කාන්තාවක් නිතරම සුහදශීලියි. ඉක්මනින් මිත්‍රත්වයක් ගොඩ නගා ගන්න දකෂයි, ආදි කරුණු දෙස ද අවධානය යොමු කරමින් ගුවන් සේවිකාවන් වශයෙන් වැඩි ප්‍රතිශතයක් යුවතියන් තෝරා ගැනීමට හේතු ලෙස පෙනේ.
එම නිසා තමයි ගුවන් සේවිකාවක් ලෙස සුන්දරත්වය, ලාලිත්‍ය රැඳී හොඳ පෞරුෂයක් ඇති යුවතියන් තෝරා ගනු ලබන්නේ. විශේෂයෙන් ම ගැමි යුවතියන්ගේ චාම් බව ගුවන් සමාගමේ ඔසරියට හරිම ලස්සනයි. ඒ විතරක් නෙවෙයි දිගු කොණ්ඩය ගොඩක් හැඩයි. යනාදි කරුණු දෙස අවධානය යොමු කරන බැවින් ගුවන සේවිකාවක් වෙන්න කැමැත්තෙන් ඉන්න යුවතියන්ට කෝණඩය අනවශ්‍ය ලෙස පාට කරන්න, ශරීරයේ පච්ච කොටන්න ඔසරියට නිරාවරණයවන තැන්වල කරාබු දාන්න යන්න එපා කියලා. ඒවා සියල්ල යුනිෆෝම් එකට නුසුදුසුකම් ලෙස සළකයි.
උස ප්‍රමාණය ගැන සැළකිලිමත්වීමේ දී මුලින්ගුවන් සමාගමේ ගුවන් සේවිකාවන් සඳහා යුවතියන් බඳවා ගත්තේ උස අඩි 05 යි අඟල් 04 ක් උස අයයි. එහෙත් අපේ රටේ එවැනි උසක් තියෙන යුවතියන් ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඒ නිසා අපි පසු කාලෙක බඳවා ගන්නා උස ප්‍රමාණය සංශෝධනය කළා. ඒ අනුවයි දැන් උස අඩි 05 අඟල් 2 ක් උස යුවතියන් බඳවා ගන්නේ. ඉතිරි අඟල් දෙකක ප්‍රමාණය අපි සකසා ගනු ලබන්නේ ගුවන් සේවිකාවන් විසින් පළඳිනු ලබන සපත්තුවලින්. දැනට ඇය පළඳින සපත්තුවේ අඩියේ උස අඟල් 02 ක් ලෙස අපි සකසා ගන්නවා.
එහෙත් බොහෝ යුවතියන් කරන ඉල්ලීමට අනුව උස අඩි 05 අඟල් 01 ලෙස උස ප්‍රමාණය අඩු කරලා හීල් එකේ උස අඟල් 03 කළොත් එක පැත්තකින් ගුවන් සේවිකාවකගේ ආරක්ෂාවට සහ සෞඛ්‍යයට තර්ජනයක් වෙනවා. ඔබ නොදන්නවා ඇති ගුවන් යානයක් අහසේ පියාසර කරන්නේ සෘජුව නොවෙයි. එම නිසා උඩ අවකාශය තුළ ඉඳගෙන ලොකු හීල් එකක් දාගෙන වැඩ කටයුතු කරන්න අපහසුයි. බොහෝ විට ගුවන් සේවිකාවක් තමන්ගේ ගුවන් ගමන් යෙදෙන අතරතුරේ මුළුමනින්ම කටයුතු කරන්නේ හිටගෙනයි. එම නිසා ශරීරයේ සමබරතාවය රඳවා ගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. නැත්නම් වෙන්නේ එක ගමනක් අවසානයේ කොන්දේ අමාරුව හැදුන වෙනත් ආබාධවලට ලක් වූ ගුවන් සේවිකාවක් රැගෙන එන්නයි. අනෙක් කාරණාව තමයි ගුවන් සේවිකාව පළඳින සපත්තුවල බර අනියත ලෙස වැඩිවීම නිසා ඔවුන්ට යානය තුළ කටයුතු කරන්න අපහසුයි. එම නිසා අපි නියම ප්‍රමිතියකට ඒ සියල්ල සකස් කරලයි තියෙන්නේ.
ගුවන් යානයක් තුළ රඳවා අති හදිසි ආපදා ආම්පන්න සහ මෙවලම් ගබඩා කර ඇත්තේ අඩි 06 යි අඟල් 05ක උසකින්. ආරක්ෂක උපකරණ සහ ඔක්සිජන් ටැංකි හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ගුවන් සේවිකාව ගුවන් යානය තුළ එම කවුන්ටරය මතට උස විය යුතුයි. මොකද හදිසි අවස්ථාවක දී එක් ගුවන් සේවිකාවකට අවම වශයෙන් ගුවන් මගීන් 35 පමණ බලා ගන්න වෙනවා. මේ සියළු දෙනාවම හදිසි අවස්ථාවක දී මගීන් බේරාගන්න ඇයට තියෙන කාලය තත්ත්පර 90 ක් පමණයි. මගීන් බේරා ගන්න ගමන් ඇය තමාගේ ජීවිතය බේරාගත යුතුයි. එම නිසා ඇය බුද්ධිමත් සහ කඩිසර විය යුතුයි. එම නිසා අපි නිතරම ගුවන් යානයකට ගුවන් සේවිකාවන් තෝරාගැනීමේ දී වයස මට්ටම් කිහිපයක් නියෝජනයවන පරිදි සහ පළපුරුදු අතින් ඉහළ නිලධාරිනියන් ඇතුළු අඩුම වශයෙන් ගුවන් සේවිකාවන් 08 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ගුවන් යානය සඳහා යොදවන්නේ මෙය ජාත්‍යන්තර නීතියක් අනුවයි.
ගුවන් සේවිකාවක් කියන්නේ ලස්සනට ඇඳගෙන රට රටවල සංචාරය කරන එක විතරයි කියලා අපේ යුවතියන් හිතනවා නම් ඒක වැරදියි. ඇයට ඊට වඩා භාරදූර කාර්යයන් රැසක් පැවරී තිබෙන බව අමතක නොකළ යුතු ය.

No comments:

Post a Comment