Wednesday, January 14, 2015

විදුරු නිපදවිමේ තාක්ෂණය


Proceso-de-Vidrio

පුළුල් පරාසයක පාරිභෝගික ද්‍රව්‍ය ගැන විස්තරයක් කිරීමට අවශ්‍ය විද්‍යාවකි. අද අප ගෙදර දොර විවිධ හැඩයෙන්, විවිධ ආකාරයෙන් භාවිතයට ගන්නා වීදුරු ගැන අවධානය යොමු කරමු. මෙය ජලය පානය කිරීමට ගන්නා වීදුරු, මුහුණ බැලීමට ගන්නා කණ්ණාඩි, දොර, ජනෙල් ආදියේ සවිකර ඇති වීදුරු, පින්තූර රාමුකර ඇති වීදුරු, යාන වාහනවලට සවිකර ඇති වීදුරු, පහන් මෙන් ම ඇස් කන්නාඩි ආදියට යොදා ඇති වීදුරු ආදී වශයෙන් විශාල පරාසයක විෂය ධාරාවට අයත් වෙයි.දේව මන්දිරවලට සවිකර ඇති වර්ණ සහ සිතුවම් ඇඳ ඇති වීදුරු මෙන් ම අද විශාල ලෙස සාදා ඇති වීදුරු ඇල්ලූ වෙළෙඳ ශාලා වීදුරු ගැන ද විශේෂ සඳහනක් කළ යුතු ය. වීදුරුවක විශේෂ ලක්ෂණයක් වන්නේ ආරක්ෂාව ලබාදෙන අතර ම ආලෝකය ඒ අතරින් ගමන් කිරීමට හැකිවීමයි.


එම නිසා ම වීදුරු තල ඇල්ලූ ජනෙල් හෝ දොරවල් ගෙදරට විශේෂ අලංකාරයක් ලබාදෙන අතර ම අඳුර නැති කිරීමට ද උදව් වෙයි.විද්‍යාවේ ඉගැන්වෙන ඝන, දියර, වායු යන වස්තුවක තෙවැදෑරුම් ස්වභාවයට පටහැනිව කි‍්‍රයා කරන වස්තුවක් ලෙස වීදුරු හැඳින්විය හැකි ය. එය අධි ශීතල වූ දියරයක් ලෙස හැඳින්වෙයි. මින් අදහස් කරන්නේ වීදුරුව ඝන දෙයක් ලෙස පෙනුනත්, එය තුළ ගලා ගෙන යාමේ හැකියාවක් ඇති බවයි. උණු වූ දියර වීදුරු ගලා යෑම අපට දැකගත හැකි ය.මෙය ශීතල වී ඝන වීමේ දී ස්ඵටික සෑදීමට කාලයක් නොමැතිව ම දියරයක් ලෙස පවතී.ගිනිකඳුවලින් උණු ලෝදිය ගලා යාමේ, අධික තාපයට භාජනයවූ වැලිමය පාෂාණ දියවී දිලිසෙන ද්‍රව්‍යයන් සෑදී ඇති බවට එදත් අදත් මිනිසා නිරීක්ෂණ කර ඇත. වැලි උණු කිරීමෙන් මෙම දිලිසෙන, විනිවිද පෙනෙන ද්‍රව්‍යය සෑදෙන බව විද්‍යාත්මක පර්යේෂණවලින් පෙනී ගොස් ඇත. සෙල්සියස් අංශක 1700ක උෂ්ණත්වයක දී වැලි උණු වී දියර, ගලා යන දෙයක් බවට පත් වෙයි.වැලි යනු විද්‍යාත්මකව සිලිකන් ඩයොක්සයිඩ් යන රසායනික ද්‍රව්‍යයි. මෙම අධික උෂ්ණත්වයේ දී වැලි උණු කිරීම ප‍්‍රායෝගික නොවේ.

මෙම උෂ්ණත්වය අඩු කිරීමට විවිධ ද්‍රව්‍ය එකතු කිරීමේ දී පෙනී ගියේ වැලි සමඟ සෝඩ ඈෂ් (සෝඩියම් ඔක්සයිඩ්) එකතු කිරීමෙන් එය දියර බවට පත්වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 800 දක්වා අඩු කළ හැකි බව ය. මෙය බලශක්තිය පිරිමසා ගැනීමක් සමඟම, විශාල පරිමාණයෙන් වීදුරු නිපදවීමට ද හැකියාවක් ලැබිණ.සෝස් වීදුරු නමින් හැඳින්වූ මෙම වීදුරුවල එක දුර්වලතාවයක් තිබිණ. එනම් එය සාමාන්‍ය ජලයේ දියවී යාමයි. මෙම දුර්වලතාවය මඟහරවා ගැනීමට මිශ‍්‍රණයට හුණු (කැල්සියම් ඔක්සයිඩ්) අළු එකතු කිරීමෙන් මඟහරවා ගත හැකි විණ.


මෙලෙස බලන කල වීදුරු සෑදීම සඳහා අමුද්‍රව්‍ය අප වටපිටාවෙන් ම ලබාගැනීම ආශිර්වාදයක් වෙයි. වැලි යනු ඉතා පිරිසිදු, සුදුපාට වැලි විය යුතුය. මෙම වැලි ශ‍්‍රී ලංකාවේ නාත්තන්ඩිය, මාරවිල අවට ප‍්‍රදේශවල බහුලව ඇත. වැලි, සෝඩා ඈෂ් සහ හුණු අළු යොදා උණු කර සාදාගන්නා වීදුරු ගෙදර දොරේ විශාල ලෙස යොදා ගැනේ. දොර ජනෙල් වීදුරු, බෝතල, විදුලි බුබුලු සහ ජලය පානය කිරීමට සහ වෙනත් මුළුතැන්ගෙයි භාජන මෙම වීදුරුවලින් සාදා ඇත.සාමාන්‍ය වීදුරු භාජනයක එක දුර්වලතාවයක් වන්නේ හදිසි රත්වීමේ දී එම වීදුරු පිපිරී බිඳී යාමයි. සාමාන්‍ය වීදුරුවට උණු ජලය හෝ තේ වත්කරන විට මෙම බිඳීයාම දැකිය හැකි ය. මීට හේතුව තාපය නිසා වීදුරුව ප‍්‍රසාරණය වීමයි.


සාමාන්‍ය ජලය බොන වීදුරුවකට උනු තේ හෝ ජලය වත්කල විට ඇතුළත බිත්තිය ඉක්මනින් ප‍්‍රසාරණය වෙයි. පිටත බිත්තියට තවම තාපය ගලා ඇවිත් නැති නිසා එය ඇතුළත තරම් වේගයෙන් ප‍්‍රසාරණය නොවේ.මෙම වෙනසේ ප‍්‍රතිඵලය වීදුරු බිත්තිය පුපුරා යාමයි. විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ වීදුරු භාජන විශාල වශයෙන් වීදුරු උපකරණ යොදාගෙනය. එම භාජනය මෙලෙස පුපුරා යයි නම් පාඩුව මෙන් ම විනාශය මහත් වෙයි. මෙය අවම කිරීමට හෝ නැති කිරීමට වීදුරු මිශ‍්‍රණයේ සංයුතිය වෙනස් කිරීමට අවශ්‍ය විය.පර්යේෂණවලින් පෙනී ගියේ වැලි, බොරොන් ඔක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් මිශ‍්‍රණය උණු කිරීමෙන් සාදන වීදුරුවල ඉතාම අඩු ප‍්‍රසාරණයක් ඇති බවය. මෙම වීදුරු රත් කිරීමේ දී පුපුරා නොයයි. රත්කිරීමට ගන්නා පරීක්ෂණ නල සහ අනිකුත් විද්‍යාත්මක වීදුරු උපකරණ සාදා ඇත්තේ බෝරොන් වීදුරුවලිනි.මෙපමණක් නොව අද ගෙදර දොර ආහාර පිසීමට (විශේෂයෙන් විදුලි සහ මයික්‍රො උදුන්වල) ගන්නා වීදුරු භාජන සාදා ඇත්තේ මෙම බෝරොන් වීදුරුවලිනි. අඩු උෂ්ණත්වයක සිට ඉහළ උෂ්ණත්වයකට යාමේදී මෙම වීදුරුවල පිපිරීමක් සිදු නොවේ.

Glass electromagnetic spectrum absorption

පිරිසිදු නොකරන ලද සාමාන්‍ය වැලිවලින් සාදන වීදුරු තරමක දුඹුරු පාටක් ගනී. පිරිසිදු කළ වැලි වීදුරු පාටක් නැත. මෙම වීදුරුවලට අවශ්‍ය වර්ණ එකතු කළ හැක. බොහොවිට මෙම වර්ණ කවන්නේ ආලෝක ලවණ වර්ග එකතු කිරීමෙනි. කොපර් සහ කෝබෝල් ලවන නිල්පාටකුත්, ක්‍රෝමියම් ලවන කොළ පාටකුත් දෙයි. ස්ටෙ‍්‍රාන්චියම් ලවන රත් පැහැයක් ලබා දෙයි.වීදුරු උණු කිරීම සඳහා විශේෂ උදුනක් ඇත. මෙයට විදුලි බලයෙන් හෝ ඛනිජ තෙල් මඟින් තාපය සපයනු ලැබේ. එම උණු කරන අමුද්‍රව්‍යවලට ඉවතට දමන බිඳුන වීදුරු ද එකතු කරනු ලැබේ. උණු දියරක් බවට පත්වන වීදුරු අවශ්‍ය ප‍්‍රමාණයට ඉවතට ගෙන අවශ්‍ය අච්චුවලට දමා හැඩයක් කවනු ලැබේ. මීට දසක හයකට පමණ පෙර වීදුරු සාදන ලද්දේ මිනිස් ශ‍්‍රමය උපයෝගීී කරගෙන ය.

Vidrio-Derretido

දිග ලෝහ බටයක් උදුනේ විවෘත කවුලුවක් තුළට දමා එය කරකැවීමෙන් බටය අගට උණු වීදුරු ගුලියක් ඉවත ගනු ලැබේ. එය බටයේ අනිත් කෙලවරින් පිඹීමෙන් බුබුලක් මෙන් සාදා එම බුබුල අච්චුව තුළට දමා තවදුරටත් පිඹීමෙන් අවශ්‍ය බෝතලයක, වීදුරුවක හෝ චිමිනියක හැඩය කවනු ලැබේ.ඉන්පසු එය ඉවතට ගෙන සිසිල් වෙන්න හැර අනවශ්‍ය කොටස් කපා ඉවත් කර ඔපමට්ටම් කරනු ලැබේ. අන්තිමේ දී මෙම භාජන තවත් උදුනක් තුළට දමා එක්තරා උෂ්ණත්වයකට රත් කෙරේ. වීදුරුවල යාන්ති‍්‍රක පීඩනය නැති වී පාවිච්චි කිරීමේ හැකියාව ලැබේ. මෙලෙස රත් කිරීමක් කර යාන්ති‍්‍රක පීඩනය ඉවත් නොකළොත් සුළු රත්වීමකදී පවා වීදුරුව පුපුරා යයි.වත්මන් වීදුරු නිෂ්පාදනයේ දී මුළු කි‍්‍රයාවලිය ම වගේ යාන්තී‍්‍රකරණය කර ඇත. 
උදුනෙන් නියමිත දියර වීදුරු ප‍්‍රමාණයක් ඉවතට එන ලෙස සලසා එය නියමිත මාර්ගයක් ඔස්සේ ගමන් කර, ඒ ඒ හැඩ කැවීම්වලට භාජනය වී අවසාන භාණ්ඩය ඉවතට එයි. මෙම විවිධ කි‍්‍රයාවලි පරිගණක ක‍්‍රමය මතින් පාලනය කර ඇත.වීදුරු තහඩු නිපදවනු ලබන්නේ උදුනෙන් එළියට එන උණු වීදුරු පොල්ලක් ක‍්‍රමයෙන් පුළුල්වන ලෝහ රෝල් දෙකක් අතරින් යවා තුනී කිරීමයි. අවශ්‍ය තහඩුවේ ඝනකම පාලනය කරනු ලබන අතර, එය ඉබේ ඔප මට්ටම් කරන විධියට ගමන් මාර්ගය සකස් කර ඇත. එය සිසිල් වූ පසු අවශ්‍ය ප‍්‍රමාණවලට කපා ගබඩා කරනු ලැබේ.වීදුරු තහඩුවක මතුපිට ඉතා නිවැරැදිව ඔප මට්ටම් විය යුතු ය. නොඑසේ නම් එහි ආලෝකය පරාවර්තනය වීමේ දී විකෘතිභාවයක් පෙන්නුම් කෙරේ. ඉතා නිවැරැදි පැතලි මතුපිටක් ලබාගැනීම උණු වීදුරු තහඩුව දියර ටින් ලෝහය ටැංකියක් මතුපිටින් යවනු ලැබේ.

Modelo-de-Estructura-de-Vidrio

එවිට සියලු වලවල් ගොඩවල් පිරී එකම තලයක මට්ටම් ඇති වීදුරු තහඩු ලැබේ. විශේෂයෙන් මුහුණ බැලීමට පාවිච්චි කරන කන්නාඩි නිපදවීමේ දී මෙම නිවැරැදි මතුපිටක් ඇති වීදුරු තහඩු යොදා ගනු ලැබේ. නොඑසේ නම් ඉන් පෙනෙන ඡායාව විකෘති වී පෙනේ.දිලිසෙන වීදුරු භාණ්ඩ (විසිතුරු භාජන) නිපදවීමට විශේෂ වට්ටෝරුවක් අනුගමනය කෙරේ. මෙම මිශ‍්‍රණයේ සියයට 40ක් ම පමණ ඇත්තේ ඊයම් ය. මෙම වීදුරු තුළින් ආලෝකය ගමන් ම්දී වැඩිපුර වර්තනය හෙවත් නැමීමක් සිදුවී එහි දිලිසෙන ගතිය වැඩි වෙයි.ඊළඟට අවශ්‍ය භාණ්ඩය මතුපිට මෝස්තර කැපීම් කර (දියමන්තියක් කපන ආකාරයෙන්) ආලෝක වර්තනය සහ පරාවර්තනය තවත් වැඩිකර දිලිසෙන බව වැඩි කෙරේ. ඇස් කන්නාඩි කාච සෑදීමේ දී භාවිත කරන්නේ මෙම ඊයම් වීදුරු වර්ගයි.වීදුරුවක් උණු දියර හෝ උකු දියර අවස්ථාවේ දී ඒවාට හැඩ ගැන්වීමේ කලාවක් ඇත. එයට විවිධ සතුන්ගේ හෝ මිනිස් රූපවල මෙන් මූර්ති හැඩගැන්වීමක් කළ හැක.

No comments:

Post a Comment