Monday, June 8, 2015

ස්ටීව් ජාෙබ්ස් සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල දේශනය + කෙටි සටහන් 08 ක් | What We Have to Get From Steve Jobs|





1891 වර්ෂයේ අැමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැටැන්ෆර්ඩ් නගරයේ අාරම්භ කළ සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ලොකයේ අතිශය සම්භාවනීය විශ්වවිද්‍යාලයක් වශයෙන් සැලකෙනවා. සැටැන්ෆර්ඩ්හි 114 වන උපාධි ප්‍රාධානෝත්සවය වෙනවෙන් Apple සහ PIXAR සමාගම්වල එවකට  ප්‍රධාන විධායක නිලධාරියාව සිටි ස්ටීව් ජොබ්ස් විසින් 2005 ජූනි මාසයේදි සිදුකළ දේශනය අතිශය විශේෂයි.


ඒකට එක හේතුවක් තමයි ඒ දේශනය තුල අන්තර්ගත වෙලා තිබුන ස්ටීව් ජොබ්ස්ගේ අදහස්වල තිබුන වැදගත්බව, අනෙක් අතට ඔහු ඒ ඉදිරිපත් කළ අදහස්වල තිබුන අවංකභාවය. ස්ටීව් ජොබ්ස්ගේ ජීවිතයේ එතෙක් කලක් නිරාවරණය නොවී තිබුන බොහෝ දේවල් ජොබ්ස් මේ දේශනයේදි හෙළි කරනවා.

මම හිතනවා මේ දේශනය සහ එහි වටපිටාව හොදින් තේරුම් ගන්න පහත කරුණ කිහිපය  වැදගත් වෙයි කියලා.


1. Commencement Speeches

උපාධි ප්‍රධානෝත්සවයක ප්‍රධාන දේශනය නැත්නම් Commencement Address එක එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලවල - විශේෂයෙන් සැටැන්ෆර්ඩ්, හාවර්ඩ් සහ මැසචුසේට්ස් වගේ සම්භාවනීය විශ්වවිද්‍යාලවල පැවත එන පැරණි සම්ප්‍රදායක්. ලෝකයේ පිළිගැනීමට ලක්වුන වැදගත් පුද්ගලයන් රාශියක් මේ වගේ දේශන පවත්වලා තියෙනවා. ඒක එක අතකින් දේශනය පවත්වන්නට අාරාධනා ලබන පුද්ගලයාටත් කෙරෙන ගෞරවයක්. සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සැලකුවොත් 2014 වර්ෂයේ මේ දේශනය සිදු කළේ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ මෙලින්ඩා ගේට්ස් දෙපල විසින්. 2008 වර්ෂයේ ඔපෙරා වින්ප්‍රී විසින් කළ 117 වන උපාධි ප්‍රධානෝත්සව දේශනය සහ 2010 වර්ෂයේදි එවකට එක්සත් ජාතීන්ගේ අැමරිකානු නිත්‍ය නියෝජිත සුසාන් E. රයිස් විසින් සිදු කළ 119 වන දේශනයත් සැටැන්ෆර්ඩ් ඉතිහාසයේ වගේම අැමරිකානු විශ්වවිද්‍යාල පද්ධතිය තුලම විශිෂ්ඨතම උපාධි ප්‍රධානොත්සව දේශන වශයෙන් සැලකෙනවා. මේ දේශන සියල්ල කියවීම හෝ නැරඹීම ස්ටැන්ෆර්ඩ් වෙබ් අඩවියෙන් කළ හැකියි.


2. අැමරිකානු අධ්‍යාපන ක්‍රමය

අැමරිකානු අධ්‍යාපන පද්ධතිය බැලූ බැල්මට සංකීර්ණයි. නමුත් ඒක තේරුම් ගන්න පහසුයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සමග සන්සන්දනාත්මකව බැලුවොත්.

ලංකාවේ දරුවෙකුගේ අධ්‍යාපනයේ අාරම්භය වන පෙර පාසල් අධ්‍යාපනය අැමරිකාවේදි සැලකෙන්නේ Kindergartens නමින්. ඉන් අනතුරුව ලංකාවේ තිබෙන ප්‍රාථමික අධ්‍යාපන මට්ටමට Elementary School වශයෙනුත් ද්විතීය මට්ටම High School වශයෙනුත් අැමරිකාවේදි සැලකෙනවා. High School මට්ටමේදි සමහර පාසල් Junior High school වශයෙනුත් Senior High school වශෙයනුත් සැලකෙනවා. මේක හරියට ලංකාවේ කනිටු විදුහල්, මහා විද්‍යාල සහ මධ්‍ය මහා විද්‍යාලවලට සමානයි. ලංකාවේ උසස් පෙළ ක්‍රමයට සමානව අැමරිකාවේ තිබෙන්නේ උසස් පාසල් ඩිප්ලෝමා කියන සුදුසුකම. ලංකාවේ උසස් පෙළ සමත් කියලා කියන සුදුසුකමට සමාන අැමරිකානු සුදුසුකම තමයි High School graduate. ඉන් අනතුරුව තිබෙන්නේ උසස් අධ්‍යාපන මට්ටම. මේකේ පළමු සුදුසුකම තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය. අැමරිකාවේදි එය බොහෝවිට හැඳන්වෙන්නේ University කියන නමින් නෙවෙයි College වශයෙන්. ඒ අනුව අැමරිකානු උපාධිධාරියෙක්ව හදුන්වන විදිය College graduate. ස්ටීව් ජාෙබ්ස් තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා තාේරා ගන්න රීඩ් විද්‍යාලය 1908 වර්ෂයේ පිහිටවනු ලැබූ ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාලයක්.

3. ව්‍යාාපරික ලෝකය තුල සාර්ථකත්වයට අධ්‍යාපනය අත්‍යවශ්‍යද?

ස්ටීව් ජොබ්ස් මුල් මාස කිහිපයෙන් පසුව තමන්ගේ උපාධි අධ්‍යාපනය අත්හැර දමනවා. මෙවැනි අය හැදින්වෙන්නේ College dropouts වශයෙන්. මම මේ කියන කාරණය බොහෝ දුරට සාකච්ඡාවට ලක් විය යුතු දෙයක්, නමුත් ව්‍යාපරික ලෝකයේ ප්‍රබලයන් සහ තාක්ෂණික නව නිර්මාණවේදීන් අතර දකින්න තිබෙන විශේෂම තත්ත්වයක් තමයි ඔවුන් බොහෝ දෙනෙක් College dropoutsලා වීම. හොඳම උදාහරණ දෙක තමයි බිල් ගේට්ස් සහ මාර්ක් සකර්බර්ග් - දෙන්නම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අාරම්භ කළ මුල් කාලයේදිම එය අත්හරිනවා.  මයික්‍රෝසොෆ්ට් සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් බැල්මර්ට සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිය අත්හැරලා මයික්‍රෝසොෆ්ට් එකට බැඳෙන්න පෙළඹවීම අැති කළේ තමන් බව බිල් ගේට්ස් නිතරම බොහෙම අාඩම්බරයෙන් සඳහන් කරපු දෙයක්.

තවත් මේ වගේ උදාහරණ බෙහාෙමයක් තියෙනවා. ලෝව්රන්ස් එලයිසන්ස් - ඔරකල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, මයිකල් ඩෙල් - ඩෙල් පරිඝනක සමාගමේ සමාරම්භක, බෙන් අැෆ්ලෙක් - චිත්‍රපට රංගනය සදහා අැමරිකානු ඩොලර් මිලියන 15 කට වඩා අය කළ හැකි රංගන ශිල්පීන් අතලොස්සෙන් එක් කෙනෙක්, කොටින්ම ඉන්දියාවේ Reliance සමාගම් ජාලයේ සමාරම්භක දීරූභායී අම්බානි පවා College dropouts කෙනෙක්. සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් - ගූගල් නිර්මාතෘන් දෙදෙනා - උපාධිය සම්පූර්ණ කළ අය වුනත් තමන්ගේ අාචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම අතරමග අත්හැරිය අය. අනිත් අතින් ලංකාවේ නිපොලැක් මුදලාලි සහ නවලෝක මුදලාලි වගේ අය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් සහ හොඳ උපාධියක් සාර්ථක ජීවිතයක් සඳහා අත්‍යවශ්‍යයි කියන සම්ප්‍රදායික අදහස ව්‍යාපාරික ලෝකයට අදාළ නොවන බව තමයි පෙනෙන්නට තියන්නේ.

4. ස්ටීව් ජොබ්ස්ගේ පවුල් පසුබිම

ස්ටීව් ජාෙබ්ස් විසින් කළ සැටැන්ෆර්ඩ් දේශනය ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් විශේෂිතයි. හේතුව ජොබ්ස් මේ දේශනයේදි එතෙක් තමන් විසින් ප්‍රසිද්ධියේ හෙළි නොකළ සිය ඉතිහාසය පිළිබඳ තොරතුරු මෙහිදි හෙලි කිරීම  සහ ඒ තුල ඔහු ගතකර තිබෙන්නේ කොයි තරම් ධෙෙර්ය සම්පන්න ජීවිතයක්ද කියන කාරණය අපට පැහැදිලි වීම.

විශේෂයෙන් මේ දේශනය පවත්වන අවස්ථාව වෙනතෙක්ම ජොබ්ස් තමන්ගේ දෙමව්පියන් පිළිබඳ කතා කිරීම දැඩිව ප්‍රතික්ෂේප කළ කෙනක්. ඔහුගේ ජෙෙව විද්‍යාත්මක දෙමව්පියන් වුනේ ජොඅෑන් කැරාෙල් ෂීබල් නම් අැමරිකානු තරුණිය සහ අබ්දුල්පට්ඨා ජන්ඩාලි කියන සිරියානු සම්භවයක් සහිත පුද්ගලයා. ජන්ඩාලි ජොබ්ස්ගේ මව ඉගෙන ගත් විශ්වවිද්‍යාලයේ අාචාර්යවරයෙක්. ඔවුන් දෙදෙනා අතර පැවති සම්බන්ධයකින් අනතුරුව ජාෙඅෑන් ගැබ් ගන්නවා. දරුවෙකු හදා ගැනීමට තරම් ඒ වනවිට ජන්ඩාලිට අාර්ථික ස්ථාවරත්වයක් නොතිබූ නිසාත් ජාෙඅෑන් ඒ වනවිටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි නිසාත් මේ යුවළ තීරණය කරනවා ජොඅෑන්ට පිළිසිඳ ගත් දරුවා දරුකමට හදා ගැනීම සඳහා පවරන්නට. ඒ අනුව ක්ලාරා සහ පෝල් ජොබ්ස් කියන මධ්‍යම පාන්තික අැමරිකානු යුවළ ස්ටීව් ජොබ්ස්ගේ හදාවඩාගත් දෙමව්පියන් බවට පත්වෙනවා. තමන්ගේ ජෙෙව විද්‍යාත්මක මව සහ පියා පිළිබඳවත් ඔවුන් දෙදෙනා පසුව විවාහ වීමෙන් අනතුරුව බිහිවූ තමන්ගේ සොහෙයුරිය මෝනා සිම්ප්සන් පිළිබඳවත් ජොබ්ස් වයස 27 පමණ වනතුරුත් දැන නොසිටි බව සඳහන්.

5. ස්ටීව් ජොබ්ස් හට අැපල් සමාගමෙන් ඉවත් වන්නට සිදුවිම

1983 වර්ෂයේදි අැපල් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරියෙක් සම්බන්ධ වෙනවා. ඔහු නමින් ජාේන් ස්කූල්ලී - අැපල් අායතනයට සම්බන්ධ වෙන්න කලින් ඔහු පෙප්සි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා. මේ බඳවා ගැනීම කරන්න ලොකුම වැඩ කොටස කරන්නේ ස්ටීව් ජාෙබ්ස්මයි. ඉහළ ලාභ ලබමින් සිටි පෙප්සි සමාගම අතහැරලා එවකට සාමාන්‍ය මට්ටමේ තිබුන අැපල් වෙත එන්න ස්කූල්ලී මුලින් අකැමති වුන බව කියවෙනවා. මෙතනදි ස්ටීව් ජොබ්ස් ජාේන් ස්කූල්ලීට කියපු කතාවක් පසු කාලෙක ලෝක ප්‍රසිද්ධ වෙනවා සහ ඒ කතාව ස්ටීව් ජොබ්ස්ට තමන් කරමින් සිටි කාර්යය පිළිබදව තිබුන දැක්මත් ඒකෙන් හෙලි වෙනවා. ඒ  "ඔබට අවශ්‍ය ජීවිත කාලේම පැණි බීම විකුණමින් ඉන්නද නැත්නම් මාත් එක්ක අැවිත් මේ ලෝකය වෙනස් කරන්නද?" (Do you want to sell sugared water for the rest of your life? Or do you want to come with me and change the world?) කියන ප්‍රකාශය.

ජාේන් ස්කූල්ලී අැපල්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් සම්බන්ධ වීමෙන් පසුව ඔහු සතු කළමණාකරණ හැකියාවන් භාවිතා කරලා අායතනය තුල දැවැන්ත වෙනස්කම් ගණනාවක්  සිදුකරනවා. ඒ වගේම අායතනය ඒ වනවිට පවත්වාගෙන ගිය Apple I සහ Macintosh පරිඝනකවල අලෙවිය වාර්තාගත ලෙස වැඩිකරන්නටත් ඔහු සමත් වෙනවා. පැහැදිලිවම ස්කූල්ලි දක්ෂ කළමණාකරුවෙක්. නමුත් ඒ වෙනකොට අැපල් අායතනයේ මැකින්ටොෂ් පරිඝනක අංශයේ සාමාන්‍යාධිකාරීවරයා (General Manager) වශයෙන් කටයුතු කළ ස්ටීව් ජොබ්ස් සැලකුනේ දක්ෂ නමුත් පිලිගත් පරිපාලන සම්මතයන්ට පටහැණි, අායතනික සම්පත් අනවශ්‍ය ලෙස වැයකළ, කරදරකාරයෙක් විදියට. ඔහු බොහා් විට Non-linear ඒ කියන්නේ අායතනික ධූරාවලි සහ සම්මතයන් නොතකා කටයුතු කළ, රාත්‍රී 12 ටත් රැස්වීම් කැඳවපු පුද්ගලයෙක්.

ස්ටීව් ජාෙබ්ස් විසින් නායකත්වය දරන ලද නිෂ්පාදක කණ්ඩායමක් විසින් මේ කාලයේ වෙළඳපලට නිකුත් කළ Lisa නමැති පරිඝනකය නිසා අායතනයට දැවැන්ත මූල්‍ය අලාභයක් සහ නරක නාමයක් ලැබෙනවා. මේ තත්ත්වය හමුවේ අැපල් අායතනයේ අධ්‍යක්ෂ මණඩලය ස්කූල්ලීට උපදෙස් දෙනවා ස්ටීව් ජාෙබ්ස්ව 'පාලනය' කරන්නට කටයුතු කරන ලෙස. ඕනෑම ප්‍රධාන විධායක නිලධාරියෙක් මෙවැනි තත්ත්වයකදි කරන දෙය ස්කූලි විසින් සිදු කරනවා - ඔහු ස්ටීව් ජොබ්ස් වෙත ලබා දී තිබුන අැතැම් බලතල සහ වරප්‍රසාද ඉවත් කර ජොබ්ස්ගේ ක්‍රියාකාරකම් පාලනය කරන්නට කටයුතු කරනවා. මේ තත්ත්වයට අනුගත වීම  උත්සාහ කිරීම වෙනුවට ජාෙබ්ස් කරන්නේ ස්කූල්ලී තනතුරෙන් ඉවත් කර දැමීමට සැලසුම් කිරීම. මේ බල අරගලය අනාවරණය කරගන්න ස්කූල්ලී වහාම අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවන්න කටයුතු කරනවා. මේ අවස්ථාවේදි ස්කූල්ලීගේ පාර්ශවය ගන්න අධ්‍යක්ෂ මණ්ඩලය ස්ටීව් ජොබ්ස් අායතනය  තුල දැරූ සියලු වගකීම්වලින් ඉවත් කරනවා. ඉන් සති කිහිපයකට පස්සේ ජොබ්ස් තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වෙලා තමන් විසින්ම ගොඩනගපු අායතනයට සමු දෙනවා.

6. තමන්ට අැපල් අායතනයෙන් ඉවත්වන්නට සිදුවීම ස්ටිව් ජොබ්ස් දුටු අාකාරය

අැපල් අායතනයෙන් ඉවත් වන්නට සිදුවීම  ස්ටීව් ජොබ්ස්ට හුදෙක් රැකියාව අහිමි වීමට වඩා වැඩි දෙයක් වුන බව පැහැදිලියි. තමන්ගේ දේශනයේ යම් තැනක ඔහු සඳහන් කරනවා ඒ විදියට අසාර්ථක වුනාට පසුව ඩේවිඩ් ෆැකාර්ඩ් සහ බොබ් නොයිස් යන දෙදෙනා හමුවී ඔවුන්ගෙන් සමාව ගන්නට තමන් කටයුතු කළ බව. මේ ඩේවිඩ් ෆැකාර්ඩ් කියන්නේ විලියම් හැව්ලට් සමග HP Computers අායතනය අාරම්භ කරන පුද්ගලයා. ලෝක තාක්ෂණික විප්ලවයට දැවැන්ත දායාදයන් එක් කළ උතුරු කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හෙවත් සිලිකන් නිම්නයේ (Silicon Valley) නගරාධිපති (The Mayor of Silicon Valley) නමින් හැඳන්වුන බොබ් නොයිස් ඉන්ටෙල් සමාගමේ සමාරම්භකවරයෙක්.



ස්ටීව් ජොබ්ස් මේ දෙදෙනාව වීරයන් ලෙසත් තමන්ගේ මාර්ගෝපදේශකයන් ලෙසත් සැලකුව බව සඳහන්. ඉතාම පැහැදිලිව ඔවුන් දෙදෙනාගන් පසුව තාක්ෂණික ව්‍යාපාර ලෝකයේ නායකත්වය දරන්නට ජාෙබ්ස් කල්පනා කරන්න අැති.  තමන්ට අැපල් අායතනයෙන් ඉවත් වන්නට සිදුවීම ගැන ඔහු "මට කලින් හිටිය ව්‍යාවසායකයන් පරම්පරාවක් වෙතින් මා වෙත පැවරුන විශාල වගකීමක් මගේ අතින් ගිලිහී ගියාක් වගේ මට දැනුනා. " යැයි සඳහන් කරන්නට අැත්තේ ඒනිසා.


7. අැපල් අායතනයෙන් ඉවත් විමෙන් පසුව ස්ටීව් ජොබ්ස්


තමන්ගේ දේශනය අතරතුර ස්ටීව් ජොබ්ස් සඳහන් කරනවා අැපල් අායතනයෙන් ඉවත් වන්නට සිදුවීම තමන්ගේ ජීවිතයේ සිදුවූ හොඳම දෙය වශයෙන්. ඒ කතාව සම්පූර්ණයෙන්ම අැත්ත. මොකද  ඒවනතුරු සිටිය ස්ටීව් ජොබ්ස් මේ  සිද්ධිය නිසා අාකල්පමය  අතින් සහ හැසිරීම අතින් දැවැන්ත වෙනසකට ලක් වෙනවා. අැපල් අායතනයෙන් ඉවත්වීම දක්වා ස්ටීව් ජොබස් අනම්‍ය, කරදරකාරී සහ අාත්මාර්ථකාමී පුද්ගලයෙක්. කොටින්ම 1983 කාලය වනවිට අැපල් අායතනයේ සභාපතිවරයාව සිටි මයික් මාර්ක්කූලා අායතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ස්ටීව් ජොබ්ස් පත් නොකර බාහිර පුද්ගලයෙක් ඒ සඳහා බඳවා ගන්න තීරණය කළේ එවැනි වගකීමක් දැරීමට තරම් ජාෙබ්ස් එවකට විනය  සහ සන්සුන් බව අතින් හොඳ මට්ටමක නොසිටීම නිසා බව කියවෙනවා.

අැපල් අායතනයෙන් ඉවත්වීමෙන් පසුව ගතවන කාලය තුල ඔහුගේ අනම්‍ය ස්වභාවය ඒතරම්ම වෙනස් වෙන්නේ නැහැ නමුත් ඔහු මිත්‍රශීලී සහ සෙසු පුද්ගලයන්ව තේරුම් ගන්නට උත්සාහ කරන සුවිශ්ෂ පුද්ගලයෙකු බවට පත්වෙනවා.

අැපල් අායතනයෙන් ඉවත්වීමෙන් අනතුරුව PIXAR සමාගම අාරම්භ කරන්නට ඔහු කටයුතු කරන බව ඔහු කියනවා. නමුත් අැත්තටම වෙන්නේ PIXAR ඒ වෙනකොටත් Star Wars චිත්‍රපටිය නිර්මාණය කළ ජෝර්ජ් ලූකස්ගේ Lucasfilm චිත්‍රපටි සමාගම යටතේ ක්‍රියාත්මක වුන  ඒ සමාගමේ පරිඝනක අාශ්‍රිත සජීවීකරණ පර්යේෂණ අංශය. පසු කාලෙක ජෝර්ජ් ලූකස් ඉහත කී පර්යේෂණ අංශ්‍ය අැපල් සමාගමෙන් ඉවත්  වෙලා NeXT සමාගම ගොඩනගමින් සිටි ස්ටීව් ජොබ්ස් වෙත විකුණා දමනවා.

ජෝර්ජ් ලූකස්ගේ කාලයේ සිටම PIXAR හි ප්‍රධානියාව සිටි අාචාර්ය එඩ්මන් කැට්මුල් විසින් රචනා කළ The  Creativity Inc. කියන පොතේ සඳහන් වෙනවා අාරම්භයේදි ස්ටීව් ජොබ්ස් කොයිතරම් කරදරකාරි සහ දරදඬු පුද්ගලයෙක් වුනාද කියන කාරණය. ඒ වගේම වයසින් පරිණතවීමත් සමග පසුව ක්‍රමිකව ඔහු වඩාත් යහපත් පුද්ගලයෙක් වුන අාකාරයත් ඒ පොතේ විස්තර වෙනවා.

8. ස්ටීව් ජොබ්ස්ගේ අාගමික පසුබිම


ස්ටීව් ජොබ්ස්ගේ ස්ටැන්ෆර්ඩ් දේශනයේ තිබෙන විශේෂත්වය තමයි මරණය සම්බන්ධයෙන් ඔහු දක්වන අදහස්. විශේෂයෙන් අද්‍යතන ක්‍රිස්තියානි අැමරිකා (Contemporary America) සංස්කෘතිය මරණය ගැන කතා කරන්නක් නෙවෙයි.  නමුත් ස්ටීව් ජාෙබ්ස් ඒ තත්ත්වයෙන් එහාට ගිහින් මරණය ගැන දාර්ශනිකව කතා කරනවා විතරක් නෙවයි, මැරෙණ මිනිසුන් වශයෙන් අල්පේච්ඡ ජීවිතයක් ගතකිරීමේ වැදගත්කමත් ඔහු විසින් පෙන්වා දෙනවා. ජාෙබ්ස් ප්‍රායෝගික බෞද්ධයෙකු වීම වෙනත් ලෙසකින් කියනවානම් ඔහු මහායාන බුදුදහම අාශ්‍රිතව වර්ධනය වුන සෙන් දහමේ අනුගාමිකයෙක් වීම මේ තත්ත්වයට බලපාන්නට අැති බවයි මම විශ්වාස කරන්නේ.

1970 මුල් කාලයේ විතර ජොබ්ස් ඉන්දියාවේ සංචාරය කළ බවත් මේ ගමනේදි ඔහු හින්දු අාගම අැතුලු නොයෙක් අාගම් පිළිබඳ ගවේෂණය කළ බවත් සඳහන්. මේ පිළිබඳ විස්තරාත්මක ලිපියක් වරක් Business Insider වෙබ් අඩවියේ පළ වෙලා තිබුනා.


ස්ටීව් ජොබ්ස්ගේ සැටැන්ෆර්ඩ් දේශනය අවස්ථා කිහිපයදිම සිංහලට පරිවර්තනය වෙලා තිබුනත් නැවත වරක් එය පරිවර්තනය කරන්නට මට අවශ්‍යවුනා. පහතින් ඒ පරිවර්තනය සහ සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ පළවූ දේශනයේ සටහනත් එක් කර තිබෙනවා.

No comments:

Post a Comment