Monday, October 6, 2014

නොමියෙන කථා 1

මෝඩකම ඇතුළට එනවා
ගුරුත්වාකර්ෂණය සොයාගත් මහා විද්‍යාඥ අයිසැක් නිව්ටන් 1642 වර්ෂයේ නත්තල් දා බ්‍රිතාන්‍යයේ උපත ලැබුවේ දිළිඳු දරුවෙකු ලෙසය. ඔහු තුන් හැවිරිදි වියේදී පියා මිය ගිය අතර මව නැවත වරක් විවාහ විය. මව ඔහුගේ අධ්‍යාපනයට පවා උපකාර කිරීමට සැලකිලිමත් වූයේ නැත. ස්වෝත්සාහයෙන් ඉගෙන ගත් නිව්ටන් පාසලේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස නිරන්තරයෙන් කැපී පෙනුණේය. වයස අවුරුදු 18 දී කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වූ ඔහු එහිම ගණිත මහාචාර්යවරයෙක් බවට ද පත් විය.
අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කිරීමට පෙළඹුණේ ඇපල් ගෙඩියක් ගසෙන් බිමට වැටෙනු දැකීමෙනි. අයිසැක් නිව්ටන් මේ සෑම අවස්ථාවකටම අදාළ ගණිත සමීකරණ ඉදිරිපත් කළේය.
අයිසැක් නිව්ටන් වාසනාවන්තයෙකි. ඒ සිය ජීවිත කාලය තුළදීම ඔහුට තමා කළ මෙහෙවර වෙනුවෙන් ධනය, බලය හා කීර්ති නම්බු නාම ලැබුණු නිසාය. 1705 වර්ෂයේදී බ්‍රිතාන්‍ය මහරැජිණ ඔහුට ශ්‍රීමත් යන නාමය ලබාදී ඔහුව නයිට්වරයෙකු බවට පත් කළාය. 1727 මාර්තු 20 වැනිදා වකුගඩු ආබාධයකින් මිය ගිය පසුද ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ගේ ප්‍රසිද්ධියේ හෝ ජනප්‍රියත්වයේ අඩුවක් වී නොමැත. ඔහුගේ් මෘත ශරීරය තැන්පත් කර තිබෙනුයේ බ්‍රිතාන්‍යයේ රාජකීයයන් පවා සැතපෙන වෙස්මිනිස්ටර් ඇබේ හිය.
ස්වභාවයෙන්ම මුඛරි පුද්ගලයෙකු වූ අයිසැක් නිව්ටන් තම ප්‍රතිවාදීන් හට මුවගුළු වැටෙන ආකාරයේ පිළිතුරු ලබා දුන් අයෙක් විය.
වරක් එතරම් ධනවත් නැති අවධියේ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් හැඳ සිටි කබායෙහි කුඩා සිදුරක් දක්නට ලැබිණ. ඔහු හට නින්දා කිරීමේ අභිරුචියෙන් පෙළුණු එක්තරා පුද්ගලයෙක් මෙසේ ඔහුගෙන් අසා තිබේ.
“මහත්මයා ඔය සිදුරෙන් ඔබේ දුප්පත්කම එළියට එනවා නේද.. ?” ශ්‍රීමත් අයිසැක් නිව්ටන් එයට දුන් පිළිතුර මෙසේය.
“නැහැ මහත්මයා… ඒ සිදුරෙන් ඔබේ මෝඩකම ඇතුළට එනවා… !”

කැමති තැන සොයා ගැනීම
නූතන ලෝකයට නව නිපැයුම් වැඩිම ප්‍රමාණයක් බිහි කළ පුද්ගලයා වන තෝමස් අල්වා එඩිසන් ගැන තවත් රස කතාවකි මේ. නොකඩවා එක දිගට පර්යේෂණවල යෙදීමට පි‍්‍රය කළ ඔහු ඒ නිසාම තම බිරියගේ ඉඳුල් වතුර ප්‍රහාරවලට පවා ලක්වූ බව මීට පෙරද අපි කීවෙමු. මෙයද බිරිය හා ඔහු අතර වූ සංවාදයකි.
එක දිගට පැය 24 ක් පර්යේෂණවල නිරත වූ තෝමස් අල්වා එඩිසන් මහත් වෙහෙසට පත්වූ ලෙසින් විද්‍යාගාරයෙන් පිටතට ආවේය. එවිට ඔහු සුපුරුදු ලෙස දුටුවේ කෝපයෙන් පිපිරෙමින් සිටින තම බිරියගේ මුහුණයි.
“ඔහේ දැන් එක දිගට පැය 24 ක්ම වැඩ කළා. නරකද විවේකයක් එහෙම ගත්තොත්… ?” බිරිය පිපිරෙමින් ඇසුවාය.
“හොඳයි … මම කොහෙටද දැන් යන්න ඕනෙ.. ?” එඩිසන් මදක් කල්පනාකාරී ලෙස ඇසුවේය.
“හුහ් … ඔහේ කැමති තැනකට … !” බිරිය ගස්සා ඉවත බලමින්කීවාය.
“හරි … මම එහෙනම් කැමති තැනකට යන්නම්” යැයි කී මහා විද්‍යාඥයා ආපසු විද්‍යාගාරයට ගොස් දොර වසා ගත්තේය.

No comments:

Post a Comment